ඒකාබද්ධ විපක්ෂ කාන්තා සංවිධානයෙන් රජයට දැඩි විවේචනයක්

2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ ඒකාබද්ධ විපක්ෂ කාන්තා සංවිධානය, වත්මන් රජයේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළේය. මෙහිදී අදහස් දැක්වූ එහි මහලේකම් තලතා අතුකෝරාල මහත්මිය පෙන්වා දුන්නේ, ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බිහි කළ සහ බ්‍රිතාන්‍යයටත් පෙර කාන්තා ඡන්ද අයිතිය දිනාගත් ශ්‍රී ලංකාවේ කාන්තාවන් වර්තමානය වන විට දැඩි පසුබෑමකට ලක්ව ඇති බවයි. විශේෂයෙන්ම කාන්තා කොමිසම වැනි ස්වාධීන ආයතන නිසි පහසුකම් නොමැතිකම හේතුවෙන් අකර්මන්‍ය වී ඇති බවත්, එහි සභාපතිනිය පවා කෙටි කලකින් ඉල්ලා අස්වීම රජයේ වගකීම් විරහිතභාවයට කදිම නිදසුනක් බවත් ඇය ප්‍රකාශ කළාය.​රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති සහ සදාචාරාත්මක පරිහානිය පිළිබඳව නීතිඥ තුෂාරි මහත්මිය මෙහිදී සිය කනගාටුව පළ කළාය. අනෙකුත් රජයන්ට වඩා වෙනස් සහනයක් බලාපොරොත්තුවෙන් ජනතාව මෙම රජය පත් කරගත්තද, වර්තමානය වන විට දරුවන්ගේ අධ්‍යාපනයට අනවශ්‍ය බලපෑම් එල්ල කරමින් ඔවුන්ගේ ආකල්ප විකෘති කිරීමට රජය උත්සාහ කරන බවට ඇය චෝදනා කළාය. රටේ කාන්තාවන් නූගත් පිරිසක් නොවන බවත්, පවුල සහ දරුවන් වෙනුවෙන් රජය ඉටු නොකරන යුතුකම් පිළිබඳව තවදුරටත් නිහඬව නොසිටින බවත් ඇය අවධාරණය කළාය.​ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අදහස් දැක්වූ කුමාරි පතිරගේ මහත්මිය ඇතුළු නියෝජිතවරියන් රජයේ දේශපාලන ස්ථාවරය පිළිබඳව උපහාසාත්මක විවේචනයක් ඉදිරිපත් කළහ. “ඔටුනු පැළඳ සිටියත් ඔබ ගොන් රජෙකි හුණ්ඩුවේ” යනුවෙන් කවියකින් සිය විරෝධය පළ කළ ඔවුන්, තමන් විහාරමහා දේවියගේ පරපුරේ කාන්තාවන් ලෙස රජයේ “රැවටිලි” වලට තවදුරටත් හසු නොවන බව පැවසූහ. පිවිතුරු හෙළ උරුමය ඇතුළු අනෙකුත් පක්ෂ නියෝජනය කරමින් පැමිණි කාන්තා නියෝජිතවරියන් ද අවධාරණය කළේ, රජය කෙරෙහි තිබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවත්, රටේ ඉදිරි ගමන පිළිබඳව පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක් බවත්ය.

What's your reaction?

Related Posts

1 of 1,035

Leave A Reply

Your email address will not be published. Required fields are marked *