ඔන්ඩන්සෙට්‍රන් එන්නතේ දෙවන පරීක්ෂණ වාර්තා පමා වීම පිටුපස කුමන්ත්‍රණයක්ද? – වෛද්‍ය චමල් සංජීව ප්‍රශ්න කරයි

ඉන්දියාවෙන් ආනයනය කරන ලද මතභේදාත්මක ‘ඔන්ඩන්සෙට්‍රන්’ (Ondansetron) එන්නත ලබාදීමෙන් පසු සිදුවූ බව කියන සැකකටයුතු මරණ දෙක සම්බන්ධ දෙවන රසායනාගාර පරීක්ෂණ වාර්තා නිකුත් කිරීම හිතාමතාම ප්‍රමාද කරන්නේද යන සැකය වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා මතු කරයි. මහනුවර ජාතික රෝහලේ පරීක්ෂණ මගින් මෙම එන්නත් කුප්පිවල බැක්ටීරියා විෂ පවතින බව මීට පෙර තහවුරු වුවද, ඖෂධ නියාමන අධිකාරිය හෝ වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) මගින් සිදුකළ පසුකාලීන පරීක්ෂණවල ප්‍රතිඵල සති තුනක් ගතවී ඇතත් මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බව ඔහු පෙන්වා දෙයි. මෙම ඖෂධ තත්ත්ව සහතික සහිතව මෙරටට ගෙන්වා තිබියදීත්, මේ දක්වා ස්වාධීන ජාත්‍යන්තර රසායනාගාරයක් වෙත සාම්පල යොමු නොකිරීම සහ මියගිය රෝගීන්ගේ රුධිර පරීක්ෂණ වාර්තා පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය නිහඬ පිළිවතක් අනුගමනය කිරීම පිටුපස යම් කුමන්ත්‍රණයක් පවතින්නේදැයි ඔහු ප්‍රශ්න කර සිටියි.​බාල ඖෂධ මෙරටට ගෙන්වන සමාගම්වලට දිගින් දිගටම අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරිය විවේචනය කරන වෛද්‍ය සංජීව මහතා, මෙම අර්බුදයට වගකිවයුතු ඉන්දියානු නිෂ්පාදකයාට හෝ දේශීය අතරමැදි සමාගමට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියි. එමෙන්ම, ශ්‍රී ලංකා-ඉන්දියා සෞඛ්‍ය ගිවිසුම ස්ථිර කිරීමට පෙර ඒ පිළිබඳ විමර්ශනය කිරීමට විශේෂඥ කමිටුවක් පත් කරන ලෙසත්, සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින මෙම අර්බුදකාරී තත්ත්වයට වගකිවයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, ඖෂධ නියාමන අධිකාරියේ සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරුන් වහාම ධුරවලින් ඉවත් කරන ලෙසත් ජනවාරි 01 වැනිදා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු වැඩිදුරටත් ඉල්ලා තිබේ.

What's your reaction?

Related Posts

1 of 930

Leave A Reply

Your email address will not be published. Required fields are marked *