ඔරායන් යානය ජයග්‍රාහී ලෙස යළි පෘථිවියට

අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ‘Artemis II’ මෙහෙයුමට එක් වූ ඔරායන් (Orion) යානය, සිය සඳ ගවේෂණ චාරිකාව සාර්ථකව නිමා කරමින් අද (11) ආරක්ෂිතව පෘථිවියට ළඟා විය. නාසා ආයතනය සඳහන් කරන පරිදි, මෙරට වේලාවෙන් අද අලුයම 5.30 ට පමණ පැසිෆික් සාගරයට ගොඩබස්වන ලද මෙම යානය, කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු කලාපයේදී නිරුපද්‍රිතව සොයා ගැනීමට හැකි වී තිබේ.​පසුගිය අප්‍රේල් 6 වනදා සිය ඓතිහාසික චාරිකාව ආරම්භ කළ ඔරායන් යානය දින 10 ක් පුරා සඳ වටා ගමන් කරමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේය. මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ මිනිසුන් සහිත යානයක් පෘථිවියේ සිට මෙතෙක් ගමන් කර ඇති වැඩිම දුර ප්‍රමාණය මෙම මෙහෙයුම හරහා සනිටුහන් කිරීමයි. ඒ අනුව කිලෝමීටර 406,771 ක (සැතපුම් 252,756) අතිවිශාල දුරක් අභ්‍යවකාශයේ තරණය කිරීමට මෙම කණ්ඩායම සමත් විය.​මෙම සාර්ථක ගොඩබෑමත් සමඟ ඉදිරි අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා නව බලාපොරොත්තුවක් එක් වී ඇති අතර, මිනිසා නැවතත් සඳ මත පය තැබීමේ සිහිනය යථාර්ථයක් වීමට මෙය ප්‍රබල පදනමක් වනු ඇත. දින කිහිපයක් පුරා පැවති මෙම සංකීර්ණ මෙහෙයුම කිසිදු බාධාවකින් තොරව අවසන් කිරීම නාසා ආයතනය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස විද්‍යා ලෝකය හඳුන්වයි.

What's your reaction?

Related Posts

1 of 712

Leave A Reply

Your email address will not be published. Required fields are marked *