ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ඉදිරි නිලවරණය ඉලක්ක කරගනිමින් එහි සභාපති ධුරය සඳහා තරග කරන බව වත්මන් උපසභාපති ශිරන්ත පීරිස් මහතා නිල වශයෙන් ප්‍රකාශ කළේය. කොළඹ පිහිටි ඔලිම්පික් නිවසේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව අනාවරණය කළ අතර, එම අවස්ථාවට ඔලිම්පික් කමිටුවේ අනෙකුත් උපසභාපතිවරුන් ද සහභාගී වී සිටියහ. මෙම ප්‍රකාශයත් සමඟ මෙවර ඔලිම්පික් නිලවරණ සටන වඩාත් උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි ක්‍රීඩා ක්ෂේත්‍රයේ විචාරකයෝ මත පළ කරති.මෙහිදී අදහස් දැක්වූ වත්මන් සභාපති සුරේෂ් සුභ්‍රමණියම් මහතා, පසුගියදා පැවැති මහා සභා රැස්වීමේදී ඇතැම් පිරිස් හැසිරුණු ආකාරය දැඩි විවේචනයට ලක් කළේය. එමෙන්ම කමිටුවේ කටයුතු සම්බන්ධයෙන් දැනටමත් වෝහාරික විගණනයක් (Forensic Audit) සිදු කෙරෙමින් පවතින බවත්, එහි වාර්තාව නිලවරණයට පෙර ලැබේද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.ඔලිම්පික් කමිටුවේ ඉදිරි නිලවරණය එළඹෙන අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ සඳහා වන නාමයෝජනා කැඳවීම මේ මස අවසානයේදී සිදු කිරීමට නියමිතය. විනිවිදභාවය සහ පාලන තන්ත්‍රයේ ගැටලු පිළිබඳව විවිධ අදහස් පළ වන වටපිටාවක, ශිරන්ත පීරිස් මහතාගේ මෙම ඉදිරිපත් වීම ක්‍රීඩා සංගම් අතර දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වී තිබේ.


























