ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ ඖෂධීය ශාකයක් වන කොතළ හිඹුටු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටින් පිට කිරීමට උත්සාහ කළ චීන ජාතිකයෙකු අද (31) කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත් විය. 46 හැවිරිදි මෙම විදේශිකයා තම ගමන් මලු තුළ ඉතා සූක්ෂ්ම ලෙස මෙම ශාක කොටස් සඟවා තිබූ බව රේගු නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.මෙම ජාවාරම සඳහා සැකකරු ලෝක ප්‍රකට ලාංකීය තේ සන්නාම සහිත ඇසුරුම් භාවිතා කර තිබීම විශේෂත්වයකි. තේ ලෙස ලෝකයා මුළා කරමින් චීනය බලා රැගෙන යාමට සූදානම් කර තිබූ මෙම කොතළ හිඹුටු තොගයේ බර කිලෝග්‍රෑම් 21ක් ලෙස සටහන් වේ. ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතට අනුව කොතළ හිඹුටු යනු මෙරටින් බැහැර කිරීම සපුරා තහනම් කරන ලද ආරක්ෂිත ශාක විශේෂයකි.කටුනායක රේගු නිලධාරීන් සහ ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් එක්ව මේ වන විට වැඩිදුර විමර්ශන පවත්වයි. අපේ රටේ ජාතික උරුමයක් බඳු මෙවැනි ඖෂධීය සම්පත් සොරකම් කිරීමට ගත් මෙම උත්සාහය රේගු නිලධාරීන්ගේ සෝදිසිය හමුවේ ව්‍යර්ථ වී තිබේ.























