කටුනායකින් වාර්තාගත මත්ද්‍රව්‍ය වැටලීමක්: කෝටි 50ක කුෂ් සමඟ ඉන්දීය ගුරුවරියන් දෙදෙනෙක් අත්අඩංගුවට!

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉතිහාසයේ මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස සැලකෙන රුපියල් කෝටි 50ක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ 50ක් අද (06) රේගු නිලධාරීන් විසින් සොයාගනු ලැබීය. බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන විත් තිබේ. ගුවන්තොටුපොළේ ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ සූක්ෂ්ම ලෙස පිටවීමට උත්සාහ කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් ඔවුන්ව කොටු කරගෙන ඇත.​අත්අඩංගුවට ගත් පිරිස අතර ඉන්දියාවේ මුම්බායි නුවර පදිංචි 25 සහ 31 හැවිරිදි වියේ පසුවන පාසල් ගුරුවරියන් දෙදෙනෙකු සහ 27 හැවිරිදි තරුණයෙකු සිටින බව රේගුව අනාවරණය කළේය. මොවුන් එකම පවුලේ සාමාජිකයන් වන අතර, තරුණයා මුම්බායි හි දුරකථන හුවමාරු මධ්‍යස්ථානයක සේවකයෙකි. ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ සහෝදරිය මෙලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ වී තිබේ.​මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මොවුන්ට නොමිලේ බැංකොක් සංචාරයක් ලබා දෙන බවට පොරොන්දු වී මෙම මත්ද්‍රව්‍ය පාර්සල් මෙරටට ගෙන ඒමට පොළඹවා ඇති බවයි. ඔවුන් රැගෙන ආ ගමන් මලු තුනක් පරීක්ෂා කිරීමේදී, ඉතා සූක්ෂ්ම ලෙස අසුරන ලද කිලෝ එක බැගින් වූ කුෂ් ඇසුරුම් 48ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.​මෙම වැටලීම කටුනායක ගුවන්තොටුපොළේ මෙතෙක් වාර්තා වූ බරින් වැඩිම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම ලෙස ඉතිහාසයට එක්වෙයි. මීට පෙර පසුගිය වසරේ වෙසක් පොහොය දිනක බ්‍රිතාන්‍ය ජාතික ගුවන් සේවිකාවක විසින් රැගෙන ආ කිලෝ 46ක කුෂ් මත්ද්‍රව්‍ය තොගය මෙතෙක් පැවති වාර්තාව වූ අතර, අද දින අත්අඩංගුවට ගත් කිලෝ 50ක තොගය එම වාර්තාව අභිබවා ගොස් තිබේ.​අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය මේ වන විට ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට දරන උත්සාහයන් පිළිබඳව මෙහිදී රේගු නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමු විය.​අධික වටිනාකමකින් යුත් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරට තුළ බෙදාහැරීමට සැලසුම් කර තිබුණේ ද නැතහොත් වෙනත් රටකට ප්‍රවාහනය කිරීමට උත්සාහ කළේ ද යන්න පිළිබඳව පොලිසිය සහ රේගුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 933

Leave A Reply

Your email address will not be published. Required fields are marked *