කථානායකවරයාගේ තීන්දුවෙන් ව්‍යවස්ථාව සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වෙලා – විපක්ෂ නායක සජිත්ගෙන් දැඩි විරෝධයක්

කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය සහ ලබාදුන් තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ජනතා පරමාධිපත්‍යය ද උල්ලංඝනය කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (ජනවාරි 9) දින කථානායකවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා අවධාරණය කළේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනම බලය ලබන්නේ ජනතාවගෙන් බවත්, ඒවා අතර බලතල බෙදීම සහ පරීක්ෂා හා සමබරතාව පවත්වා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මය බවත්ය. අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමට සහ මෙම පරීක්ෂා හා සමබරතාව ශක්තිමත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව වැනි ආයතන පිහිටුවා ඇති බව පෙන්වා දුන් ඔහු, යෝජිත පාර්ලිමේන්තු කමිටුව හරහා අපේක්ෂා කළේ ද අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම බව සඳහන් කළේය. කථානායකවරයාගේ මෙම තීරණය ජනතාවගේ මූලික හා මානව හිමිකම් මෙන්ම පරමාධිපත්‍යය ද දරුණු ලෙස කඩකිරීමක් බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.​විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ බලතල විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට මන්ත්‍රීවරුන් 31 දෙනෙකු ඉදිරිපත් කළ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් කථානායක ජගත් වික්‍රමරත්න මහතා ලබාදුන් තීන්දුවට ප්‍රතිචාර වශයෙනි. ස්ථාවර නියෝග 27(3) යටතේ විශේෂ ප්‍රකාශයක් කළ කථානායකවරයා සඳහන් කළේ අධිකරණ සේවා කොමිෂන් සභාව සම්බන්ධ කරුණු විමර්ශනයට කමිටුවක් පත් කිරීම අධිකරණ ස්වාධීනත්වයට සහ ජනතාවගේ අධිකරණ බලයට හානි කිරීමක් බවයි. මෙම තීන්දුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බවත්, එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ ගෞරවය සුරැකීමට හේතු වන බවත් කථානායකවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 934

Leave A Reply

Your email address will not be published. Required fields are marked *