යාපනය, කයිට්ස් ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇත්තේ 19 හැවිරිදි තරුණයෙකු බව ශ්‍රී ලංකා පොලිසිය නිල වශයෙන් තහවුරු කර තිබේ. මීට පෙර වාර්තා වූයේ 17 හැවිරිදි තරුණයෙකු මියගිය බව වුවද, පොලිස් විමර්ශනවලදී ඔහු 19 හැවිරිදි වියේ පසුවන්නෙකු බව හෙළි විය. අලාපිඩ්ඩි මංසන්ධිය අසලදී පොලිස් අණ නොතකා ධාවනය වූ මෙම සැකකටයුතු වෑන් රථයට පොලිසිය වෙඩි තබා ඇති අතර, එහිදී තුවාල ලැබූ මෙම තරුණයා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වයස අවුරුදු 25 සහ 38 යන වයස්වල පසුවන අනෙක් සැකකරුවන් දෙදෙනා පෙබරවාරි 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, මියගිය පුද්ගලයා අයිස් (ICE) සහ හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.පසුපස අසුන් ඉවත් කර තිබූ මෙම වෑන් රථය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී ගංජා ග්‍රෑම් 17.5ක්, කඩුවක්, පිහියක් සහ සත්ව හම් සොයාගෙන ඇති අතර, මෙය ප්‍රදේශයේ සිදුවන ගව සොරකම් සහ වෙනත් අපරාධ සඳහා භාවිතා කළ වාහනයක් බවට පොලිසිය සැක කරයි. සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අධීක්ෂණය යටතේ යාපනය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.


























