කර්මාන්ත සංවර්ධනය සඳහා සුදුසු ඉඩම් අත්පත් කර ගැනීම වෙනුවෙන් ඉක්මනින්ම ඉඩම් බැංකුවක් (Land bank) පිහිටුවන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. උත්සවයකදී අදහස් දැක්වූ ඒ මහතා, “මෙවර අයවැයෙන් කර්මාන්ත සඳහා රුපියල් බිලියන 120ක් ද, කර්මාන්තකරුවන් සඳහා ණය සහන වෙනුවෙන් රුපියල් බිලියන 80ක් ද වෙන් කර තිබෙනවා. රජය එවැනි විශාල මුදලක් කාර්මික අංශය වෙනුවෙන් ආයෝජනය කරන්නේ ඉහළ අපේක්ෂාවන් සහිතවයි. ව්‍යවසායකයින් දැන් රජය කෙරෙහි විශාල විශ්වාසයක් තබා ඇති අතර, එමඟින් රාජ්‍යය සමඟ සාර්ථක ගමනක් ආරම්භ කිරීමට ඔවුන්ට හැකි වී තිබෙනවා,” යනුවෙන් ප්‍රකාශ කළේය. බස්නාහිර පළාතේ ව්‍යවසායකත්ව විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් “බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන 2025” උළෙල ඊයේ (19) අමාත්‍ය හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) විසින් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සමඟ එක්ව සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල අඛණ්ඩව පැවැත්වෙන 8 වැනි වසර මෙයයි. ක්ෂුද්‍ර, කුඩා, මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යවසායන්හි ව්‍යවසායකයින් 54 දෙනෙකු කාණ්ඩ 27ක් යටතේ රන්, රිදී, ලෝකඩ සහ ගෞරව සම්මානවලින් පිදුම් ලැබූහ. කර්මාන්ත හා නිෂ්පාදන, කෘෂිකර්ම/පශු සම්පත් හා ධීවර, ආගන්තුක සත්කාර/සංචාරක සහ අනෙකුත් සේවා යන අංශවලට අදාළව විශේෂ සම්මාන ද පිරිනැමිණි. නවෝත්පාදන, පාරිසරික තිරසාරභාවය, බලශක්ති කාර්යක්ෂමතාව, අපනයන විශිෂ්ටත්වය, ඵලදායිතාව, අගය එකතු කිරීම, තරුණ හා කාන්තා ව්‍යවසායකත්වය, බහු-නිපුණතා ව්‍යවසායකත්වය, රැකියා උත්පාදනය, තිරසාර භාවිතයන් සහ මූල්‍ය කාර්ය සාධනය වැනි අංශවල ජයග්‍රහණ වෙනුවෙන් මෙහිදී ඇගයීමක් සිදු කරන ලදී.


























