ජාතික තලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් වශයෙන් කාණ්ඩගත කර ගනිමින් බදු අය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම අප්‍රේල් මස 03 වැනි දා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ(28) දින නියම කර තිබේ.
පෙරේදා (27) දිනයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායක චමරි අතපත්තු සහ අනුෂ්කා සංජීවනී ද මෙම පෙත්සමට අදාළ තවත් පෙත්සමක් ගොනු කර ඇත.
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක සහ ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා යන මහත්වරුන් පසුගිය 18 වැනි දා පළමු පෙත්සම ගොනු කරනු ලැබීය.
එම පෙත්සම කැඳවූයේ අභියාචනාධිකරණ සභාපති විනිසරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන විනිසුරුවරුන් ඉදිරියේදීයි.
පෙත්සම කැඳ වූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා මෙම නඩු කටයුත්ත සම්බන්ධයෙන් ඇතැමුන් ප්‍රකාශ නිකුත් කර ඇති අතර, එය අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවක් බැවින් ඒ පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කරන බව පැවසීය.
එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා පවසා සිටියේ, මීට අදාළව අවශ්‍ය නම් සුදුසු නීතිමය ක්‍රියාමාර්ග අධිකරණය හමුවේ ගන්නා ලෙසයි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්, එහි නියෝජ්‍ය කොමසාරිස්වරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු එහි විධායක කමිටු සාමාජිකයින්, විගණකාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
පෙත්සමින් ක්‍රීඩකයින් පෙන්වා දෙන්නේ, තමන් ක්‍රිකට් ආයතනය සමග නිශ්චිත කාලයකට ගිවිසුම්ගතව ඇති නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් නොවන අතර තමන් කිසිදු අවස්ථාවක සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ඇතුළු අරමුදල්වල සාමාජිකයන් නොවන බවයි.
පෙත්සම විභාග කොට අවසන් වනතෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරන ලෙස ක්‍රීඩකයින් ඉල්ලා සිටියේ ය.