කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ අද (08) පැවති ජාතික ජන බලවේගයේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලාංකේය කාන්තාවන් වෙනුවෙන් වඩාත් ආරක්ෂිත සහ බලාපොරොත්තු සහගත අනාගතයක් නිර්මාණය කිරීමට රජය කැපවන බවයි. රජයක සාර්ථකත්වය මැනිය හැකි හොඳම නිර්ණායකය කාන්තාවන් ඒ කෙරෙහි තබා ඇති විශ්වාසය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙම උත්සවයට පැමිණි අතිවිශාල කාන්තා සහභාගීත්වය වත්මන් පාලනය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසයේ කැඩපතක් බව ද සඳහන් කළේය. දීර්ඝ කාලයක් තිස්සේ විවිධ පීඩා සහ දුෂ්කරතා උසුලාගෙන සිටි කාන්තා පරපුරට “සිනහවෙන් පිරි අනාගතයක්” ගොඩනැගීම රජයේ මූලික අරමුණ බවත්, සෑම කාන්තාවකටම සහ දැරියකටම දැඩි විශ්වාසයකින් හා ආරක්ෂාවකින් යුතුව ජීවත් විය හැකි පරිසරයක් සැකසීම සඳහා කාන්තා හා ළමා හිංසනයට එරෙහි නීති රීති තවදුරටත් දැඩි කරන බවත් ඔහු අවධාරණය කළේය.කාන්තාවන් ආර්ථිකයට සක්‍රීයව දායක කර ගැනීම සඳහා විශේෂ මූල්‍ය ආධාර වැඩසටහනක් මේ වසරේ සහ ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය. කාන්තාවන් මූලික කරගත් ස්වයං රැකියා සහ සුළු පරිමාණ ව්‍යාපාර සඳහා අඩු පොලී සහ පොලී රහිත ණය ලබා දීමට මුදල් වෙන් කර ඇති අතර, ඇතැම් අවස්ථාවලදී බැංකු ණය සඳහා රජය සෘජුවම ඇපකර ලබා දීමට මැදිහත් වන බව ද ඔහු පැවසීය. විශේෂයෙන්ම වසර ගණනාවක් තිස්සේ කාන්තාවන් පීඩාවට පත් කළ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ඔවුන් මුදා ගැනීම සඳහා නව ක්ෂුද්‍ර මූල්‍ය නීතියක් මගින් නියාමනයන් හඳුන්වා දෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.නිවාස සහ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, 2026 වසරේදී අලුතින් නිවාස 31,000ක් ඉදිකිරීමටත්, ස්වභාවික විපත්වලින් හානි වූ නිවාස ප්‍රතිසංස්කරණය කිරීමටත් සැලසුම් කර ඇති බව සඳහන් කළේය. දැරියන් අනාරක්ෂිතව වෙසෙන නිවාස පිළිසකර කිරීමට මෙන්ම, පරිවාස භාරයේ පසුවන දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා නිවාස සහ ඉතුරුම් පහසුකම් සැලසීමට විශේෂ අවධානයක් යොමු කරන බව ද ඔහු පැවසීය. මීට අමතරව, මව්වරුන්ගේ ලොකුම බියක් වන මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීමට රජය දැඩිව කැපවන බව ද හෙතෙම සහතික විය.රටේ ආර්ථිකය මේ වන විට සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් අත්පත් කර ගනිමින් ඇති බවත්, උද්ධමනය පාලනය වී අපනයන ආදායම හා සංචාරක ආදායම ඉහළ යමින් පවතින බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙම ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිලාභ ජනතාවගේ එදිනෙදා ජීවිතයට ප්‍රායෝගිකව සමීප විය යුතු බවත්, කාන්තාවන්, දරුවන් සහ පීඩිත ප්‍රජාව ගෞරවයෙන් සලකන “මානුෂීය ශ්‍රී ලංකාවක්” ලෝකය හමුවේ ඔසවා තැබීම තම අභිලාෂය බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

























