ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ හා දරුවන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා බිම් මට්ටමේ මැදිහත්වීම ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය අවධාරණය කර තිබේ. ඇය සඳහන් කළේ, “අපේ රටේ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ සුබසාධනය සඳහා අප බිම් මට්ටමේ තව තවත් සක්‍රීය විය යුතුයි.” යනුවෙනි.පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ ආරක්ෂාව, ආර්ථික හා සමාජ සවිබලගැන්වීම සහ ළමා ආරක්ෂාව හා මුල් ළමාවිය සංවර්ධනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ඔක්තෝබර් 17 වන දින පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.මෙම හමුවේදී කාන්තාවන් සහ දරුවන් මුහුණ දෙන අභියෝග සහ එම ගැටලු ඵලදායී ලෙස විසඳීම සඳහා අමාත්‍යාංශය ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍ය පෝල්රාජ් මහත්මිය නිලධාරීන් සමඟ ගැඹුරු සාකච්ඡා පැවැත්වූවාය.මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාර ගරු වසන්ත ජිනසේන මහතා, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සහ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ටී. බී. සරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු සුනිල් රත්නසිරි සහ ගරු පද්මසිරි බණ්ඩාර මහත්වරු, අතිරේක දිස්ත්‍රික් ලේකම් නිරෝෂා හපුහින්න මහත්මිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී වූහ.