කාලගුණයට ඔරොත්තු නොදෙන නිවාස තත්ත්වය: ශ්‍රී ලංකාවේ නිවාස 100,000කට අධික සංඛ්‍යාවක් අවදානමේ!

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) අනුව, ශ්‍රී ලංකාවේ නිවාස 100,000කට අධික සංඛ්‍යාවක බිත්ති සඳහා මඩ සහ ගල් භාවිත කර ඇති අතර, වහල සඳහා තල්පත්, කජුන් හෝ පිදුරු භාවිත කර ඇත. මෙය නිවාසවල කාලගුණයට ඔරොත්තු නොදෙන තත්ත්වය ඉස්මතු කරයි. 2024 නිවාස මූලික වාර්තාවේ DCS සඳහන් කරන්නේ, සමස්ත භාවිතයේ ඇති නිවාස ඒකකවලින් 2.8%ක් හෙවත් 168,000ක පමණ බිත්ති මඩ සහ ගල්වලින් නිමවා ඇති අතර, ඒවා බොහෝ විට අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ පහසුවෙන් හානි විය හැකි බවයි. තවද, නිවාස 102,000ක් හෙවත් 1.7%ක වහල තල්පත්, කජුන් සහ පිදුරුවලින් ආවරණය කර ඇත. DCS පවසන්නේ, “ඇස්බැස්ටස්වලින් තැනූ වහල සහිත නිවාස ඒකකවලින් ඉහළම ප්‍රතිශතය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් (75.5%) වාර්තා වේ. තහඩු වහල සහිත නිවාස ඒකකවල ඉහළම ප්‍රතිශත වාර්තා කරන දිස්ත්‍රික්ක වන්නේ නුවර එළිය (16.1%), බදුල්ල (8.4%) සහ මුලතිව් (5.0%) ය. බදුල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස ඒකකවලින් 5.7%ක් කල් නොපවතින කජුන්, තල්පත්, පිදුරු ආදියෙන් තැනූ වහල ඇති බව වාර්තා වී ඇත.” ශ්‍රී ලංකාවේ බහුතර නිවාස ඒකකවල පොළව සඳහා සිමෙන්ති භාවිත කර ඇතත්, නිවාස 120,000ක පමණ පොළව මඩ සහ වැලිවලින් සකස් කර ඇත. ශ්‍රී ලංකාවේ භාවිතයේ ඇති නිවාස ඒකකවලින් බහුතරය (55.3%) පිසීම සඳහා ප්‍රධාන බලශක්ති/ඉන්ධන ප්‍රභවය ලෙස දර භාවිත කරන අතර, ඉහළම ප්‍රතිශත වාර්තා වන්නේ මොණරාගල (83.6%) සහ බදුල්ල (80.6%) දිස්ත්‍රික්කවලිනි.

What's your reaction?

Related Posts

1 of 823

Leave A Reply

Your email address will not be published. Required fields are marked *