දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට පසු, ලබන මාසයේදී පකිස්ථානය සහ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිතව තිබූ ත්‍රිකෝණ තරගාවලියෙන් ඇෆ්ගනිස්ථානය ඉවත් වූ බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය (ACB) සිකුරාදා (ඔක්තෝබර් 17) ප්‍රකාශ කළේය.ක්‍රීඩකයින් තිදෙනා සුහද තරගයකට සහභාගී වීම සඳහා පකිස්ථාන දේශසීමාවේ නැගෙනහිර පාක්ටිකා පළාතේ උර්ගුන් සිට ශරනා දක්වා ගමන් කර ඇති බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය (ACB) සඳහන් කළේය.”නැවත උර්ගුන්හි නිවෙස්වලට පැමිණීමෙන් පසු, රැස්වීමක් අතරතුර ඔවුන් ඉලක්ක කර ඇති” බවත්, එය “පකිස්ථාන තන්ත්‍රය විසින් සිදු කරන ලද බියගුලු ප්‍රහාරයක්” ලෙසින් ඔවුන් හඳුන්වනු ලබන බවත් ACB මණ්ඩලය පවසයි.ACB විසින් මෙම ක්‍රීඩකයින් තිදෙනා “කබීර්, සිබ්ගත්තුල්ලා සහ හරූන්” ලෙස නම් කර ඇති අතර, මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු ද ජීවිතක්ෂයට පත් වූ බව පැවසීය. කෙසේ වෙතත්, ප්‍රහාරය පිළිබඳ වැඩි විස්තර ACB මණ්ඩලය විසින් ලබා දී නොමැත.මෙය “ඇෆ්ගනිස්ථානයේ ක්‍රීඩා ප්‍රජාවට, එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ක්‍රිකට් පවුලට විශාල පාඩුවක්” ලෙස සලකන බවත්, “ශෝකයට පත් පවුල්වලට සිය බලවත් ශෝකය සහ සහයෝගීතාවය” පළ කරන බවත් එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.”වින්දිතයින්ට ගෞරව දැක්වීමේ අභිනයක් ලෙස” ලබන මාසයේ පැවැත්වීමට නියමිත ත්‍රිකෝණ තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළ බව ACB පැවසීය.”මෙම අහිංසක සිවිල් වැසියන් සහ අපගේ දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් මෙම පීඩකයන් විසින් සමූලඝාතනය කිරීම කෲර, සමාව දිය නොහැකි අපරාධයකි,” යනුවෙන් ඇෆ්ගන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ෆසල්හක් ෆාරුකි සිය ෆේස්බුක් පිටුවේ සටහන් කළේය.තවත් ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු වන මොහොමඩ් නබි වැඩිදුරටත් කියා සිටියේ, “මෙම සිදුවීම පාක්ටිකා ප්‍රදේශයට පමණක් නොව, සමස්ත ඇෆ්ගන් ක්‍රිකට් පවුලට සහ සමස්ත ජාතියටම ඛේදවාචකයක්” බවයි.