කැස්බෑව විකල්ප මාර්ගයේ ඔට්ටුවට රේස් පැද්ද තරුණයන් 11ක් දැලේ!

පිළියන්දල සහ කැස්බෑව විකල්ප මාර්ගයේ මුදලට ඔට්ටු අල්ලමින් අනතුරුදායක ලෙස යතුරුපැදි සහ ත්‍රිරෝද රථ තරග පැවැත්වූ තරුණයන් 11 දෙනෙකු අද (29) අලුයම පොලිස් අත්අඩංගුවට පත්විය. වට්සැප් (WhatsApp) සමූහයක් හරහා සංවිධානය වී ඊයේ රාත්‍රියේ සිට මෙම නීතිවිරෝධී තරගාවලිය පවත්වා ඇති බව අනාවරණය වී ඇත. වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබූ යතුරුපැදි 12ක් සහ ත්‍රිරෝද රථ 2ක් ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබේ.​ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පිළියන්දල පොලිසිය, ගම්වාසීන්ගේ ද සහාය ඇතිව මෙම ජාවාරම වීඩියෝ ගත කර මාර්ගය අවහිර කරමින් වැටලීම සිදු කර ඇත. පොලිසිය පැමිණෙනවාත් සමඟ ඇතැම් පිරිස් තම වාහන පවා අතහැර දමා පලා ගොස් ඇති අතර, අත්අඩංගුවට ගත් සමහර යතුරුපැදිවල දෙදෙනා බැගින් ගමන් කර තිබූ බව ද වාර්තා වේ. අත්අඩංගුවට පත් තරුණයන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.​සැකකරුවන් සහ ඔවුන් පැදවූ වාහන ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පිළියන්දල පොලිසිය මගින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි. මෙවැනි අනතුරුදායක තරග හේතුවෙන් පොදු මාර්ගවල ගමන් ගන්නා මහජනතාවගේ ආරක්ෂාව දැඩි තර්ජනයකට ලක්ව ඇති බව පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,071

Leave A Reply

Your email address will not be published. Required fields are marked *