විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක සුපිරි 8 වටයේ අද පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත ගැටුමේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සජීවී උද්යෝගය මධ්‍යයේ කාසියේ වාසිය දිනූ නායකයා, තණතිල්ලේ ස්වභාවය සැලකිල්ලට ගනිමින් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව ප්‍රබල නවසීලන්ත පිතිකරණ බලඇණිය මෙල්ල කිරීමේ අභියෝගය ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙත පැවරී තිබේ.අද තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ එක් වැදගත් වෙනස්කමක් සිදු කර ඇති අතර, පිතිකරණ බලඇණිය ශක්තිමත් කරමින් චරිත් අසලංක යළි කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයකි. පසුගිය තරගයට ක්‍රීඩා කළ කමිල් මිශාර වෙනුවට ඔහු කණ්ඩායමට එක්ව ඇත්තේ මැදපෙළ ස්ථාවර කිරීමේ අරමුණ ඇතිවය. මව්බිමේ ප්‍රේක්ෂක සහායද ඇතිව, අර්ධ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු රඳවා ගැනීම සඳහා මෙම තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇත.


























