කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ වාහන නැවැත්වීමේ ගාස්තු අයකිරීම අද (23) සිට යළි ආරම්භ කර තිබේ. කොළඹ නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේ, අද උදෑසන 6:00 සිට සාමාන්‍ය පරිදි වාහන නැවැත්වීමේ කළමනාකරණ කටයුතු සහ ගාස්තු අයකිරීම් ක්‍රියාත්මක වන බවයි. නගරය පුරා ඉන්ධන පිරවුම්හල් අසල පැවති දැඩි රථවාහන තදබදය සහ දිගු වාහන පෝලිම් සැලකිල්ලට ගනිමින් පසුගිය මාර්තු 18 වැනිදා සිට මෙම ගාස්තු අයකිරීම් තාවකාලිකව අත්හිටුවීමට නගර සභාව පියවර ගෙන තිබුණි.කෙසේ වෙතත්, ජාතික ඉන්ධන බලපත්‍රය (QR කේත ක්‍රමය) ක්‍රියාත්මක වීම සහ වාහන ලියාපදිංචි අංක අනුව ඉන්ධන නිකුත් කිරීමත් සමඟ පෝලිම්වල දිග සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව නගර සභාව නිරීක්ෂණය කර ඇත. ඒ අනුව, මාර්ගවල රථවාහන තත්ත්වය යථා තත්ත්වයට පත්ව ඇති බැවින්, මීට පෙර පැවති සාමාන්‍ය ගාස්තු අයකිරීමේ ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීම සුදුසු බවට තීරණය කර තිබේ. මගීන්ට සහ රියදුරන්ට දැන් පෙර පරිදිම නියමිත ගාස්තු ගෙවා සිය වාහන ගාල් කිරීමට අවස්ථාව හිමි වේ.
























