කොළඹ මහා නගර සභාවේ දූෂණ සෙවීමට මහජන සහාය: පැමිණිලි භාරගැනීම මාර්තු 16 තෙක් දීර්ඝ කෙරේ

2010 සිට 2025 දක්වා කාලය තුළ කොළඹ මහා නගර සභාවේ සිදුව ඇති බව කියන දූෂණ, වංචා, සාපරාධී විශ්වාසය කඩකිරීම් සහ බලය අයුතු ලෙස භාවිත කිරීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත තොරතුරු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමේ කාලසීමාව 2026 මාර්තු 16 වනදා දක්වා දීර්ඝ කර ඇත. රජයේ සම්පත් අවභාවිතය, නීති විරෝධී බඳවා ගැනීම්, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම් සහ රජයේ දේපළ බදු දීමේදී සිදුව ඇති අක්‍රමිකතා හේතුවෙන් රජයට සිදුව ඇති බරපතළ පාඩු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරේ. ජනාධිපති මාධ්‍ය අංශය (PMD) සඳහන් කරන පරිදි, ඕනෑම ලිඛිත පැමිණිල්ලක් හෝ තොරතුරක් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් කොළඹ 03, ගාලු පාර, අංක 152 හි පිහිටි කොමිෂන් සභා ලේකම්වරයා වෙත යොමු කළ හැකිය.​මෙම පැමිණිලි ඉදිරිපත් කිරීමේදී අදාළ පුද්ගලයාගේ නම, ලිපිනය, දුරකථන අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය වේ. යම් හෙයකින් තොරතුරු සපයන්නා සිය අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති නම්, ඒ පිළිබඳව ඉල්ලීමක් කිරීමට ද අවස්ථාව සලසා දී ඇත. මීට අමතරව, වාචිකව කරුණු ඉදිරිපත් කිරීමට කැමති ආයතන හෝ පුද්ගලයන්ට 011 2 301 735 අංකය ඔස්සේ මාර්තු 16 වනදා හෝ ඊට පෙර පූර්ව අවසරයක් ලබා ගත හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,024

Leave A Reply

Your email address will not be published. Required fields are marked *