පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ජල පරිභෝජනය ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (02) සිට අදියර කිහිපයක් යටතේ ජල සැපයුම සීමා කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත. මෙම තත්ත්වය ලබන 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර, ජල මුර ක්‍රමයක් යටතේ සැපයුම පාලනය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ජල මූලාශ්රවල මට්ටම පහත වැටීම හමුවේ සියලුම පාරිභෝගිකයන් වෙත සාධාරණ ලෙස ජලය බෙදා හැරීම මෙහි ප්‍රධාන අරමුණයි.ඒ අනුව බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත සහ නාවල අවට ප්‍රදේශවලට දිනක් හැර දිනක් රාත්‍රී 10.00 සිට පසුදින අලුයම 01.00 දක්වා පැය තුනක කාලයක් ජලය සැපයීම අත්හිටුවනු ලැබේ. රාත්‍රී කාලයේ සිදු කෙරෙන මෙම සීමා කිරීම හරහා ජල පීඩනය පවත්වා ගැනීමට අපේක්ෂා කරන අතර, එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට දෛනික අවශ්‍යතා සඳහා ජලය කල්තියා රැස් කර තබා ගන්නා ලෙස මණ්ඩලය දැනුම් දී සිටී.මීට අමතරව පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය යන ප්‍රදේශ සඳහා විශේෂ ජල මුර ක්‍රමයක් හඳුන්වා දී ඇත. එහිදී රාත්‍රී 8.00 සිට ආරම්භ වන පරිදි අඛණ්ඩව පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන අතර, ඉන් අනතුරුව දින තුනක කාලයක් ජලය ලබා දීමට කටයුතු යොදා තිබේ. පවතින අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කර ගැනීමට සහාය වන ලෙසත්, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.





















