“කොළඹ සිට තීන්දු ගන්නේ නැහැ, ගමේ අවශ්‍යතාව ගමෙන්ම හඳුනාගත යුතුයි” – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ හුදෙක් කොළඹ කාර්යාලවල සිට ගන්නා තීන්දු මත පදනම් නොවන බවත්, ප්‍රාදේශීය මට්ටමේ අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව සැලසුම් සකස් කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කළාය. 2026 පෙබරවාරි 12 වන දින හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඇය කියා සිටියේ, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහ ව්‍යුහාත්මක කමිටු හරහා ග්‍රාමීය මට්ටමේ අවශ්‍යතාවලට ගැළපෙන සැලසුම් ඉදිරිපත් විය යුතු බවයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට පාසල් මට්ටම දක්වා සියලු නිලධාරීන් කාර්යක්ෂමව හා මානුෂීය ලෙස කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, රටේ ආර්ථික, සමාජීය සහ දේශපාලනික අර්බුද රැසකට විසඳුම් පවතින්නේ අධ්‍යාපන පද්ධතිය තුළ බව ද සඳහන් කළාය.​පාසල් පද්ධතිය තුළ පවතින විෂමතා ඉවත් කර සෑම දරුවෙකුටම සමාන අවස්ථා ලබාදීම රජයේ අරමුණ බව මෙහිදී ප්‍රකාශ විය. විශේෂයෙන්ම විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවත්, පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීමට නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවත් ඇය පැවසුවාය. පාසල් ආරම්භ කිරීම හෝ පන්ති ව්‍යාප්ත කිරීම වැනි තීරණ දේශපාලන තීන්දු නොවිය යුතු බවත්, ඒවා ජනගහන හා ආර්ථික සාධක මත පදනම් වූ විද්‍යාත්මක තීරණ විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය. මහා සංඝරත්නය, මැති ඇමතිවරුන් සහ අධ්‍යාපන නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, කාර්යක්ෂම සේවාවක් ලබා දීම මඟින් මානව හිමිකම් ගැටලු දක්වා දුක්ගැනවිලි යොමු වීම වළක්වා ගත හැකි බව ද ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

What's your reaction?

Related Posts

1 of 1,012

Leave A Reply

Your email address will not be published. Required fields are marked *