කෝටි 08ක් උස්සන්න පොලිසියේ දෙදෙනෙක් ඇතුළු 04ක් ගැසූ මාස්ටර් ප්ලෑන

කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 08ක මුදලක් කොල්ලකෑම සඳහා පොලීසියේ දෙදෙනෙක් ඇතුළු හතරදෙනෙක් එක්ව සිදුකළ සැළසුමක් හසුකර ගැනීමට මහනුවර පොලිසිය සමත්ව තිබෙනවා.

මහනුවර පූර්ණවත්ත ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු මෑතකදී රුපියල් කෝටි 08ක මුදලකට නිවසක් විකුණා ඇති බවත් එම මුදල කොල්ලකෑම සඳහා මෙම පිරිස එක්ව සැලසුමක් දියත්කර ඇති බවත් මහනුවර පොලිසියේ ජ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවා.

එම ව්‍යාපාරිකයා සතුව කෝටි 08ක මුදලක් නොමැති බවත් එම මොහොතේ ඔහුගේ නිවසේ ඇත්තේ රුපියල් ලක්ෂ 80ක මුදලක් බවත් දැනගත් කොල්ල කල්ලිය, පසුව එම එම ලක්ෂ 80ක මුදල කොල්ලකෑම සඳහා සැලසුම් කර තිබෙනවා.

රුපියල් ලක්ෂ 80ක මුදලට ව්‍යාජ මුදල් දමා එම ව්‍යාපාරිකයා පොලිසියට හසුකොටදී, මුදල් කොල්ලකෑමට මොවුන්ගේ මූලික සැලසුම වී තිබූ බව ජ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළා.

මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ, මහනුවර මූලස්ථාන පොලිසියේ හදිසි ඇමතුම් අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ව්‍යාජ මුදල් තොගයක් අත්අඩංගුවට ගැනීමට යන බව පවසා රාජකාරී ගමනක් යොදාගෙන කොල්ලකරුවන් සමග එකතු වී කොල්ලය සිදු කිරීමටයි සැලසුම් කර තිබූ බවයි.

ව්‍යාපාරිකයාගේ මුදල් නෝට්ටුවලට මාරු කිරීමට ගෙන ආ බව කියන ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු තොගයක්ද පොලිස් බාරයට ගෙන තිබෙන අතර සැකකරුවන් කොල්ලකන ලද රුපියල් ලක්ෂ 60 කට ආසන්න මුදලක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන බවයි මහනුවර ජ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් අපවෙත සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *