කෝටි 50ක මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක ඇතුළු සිව්දෙනෙක් කොටු වෙති!

රුපියල් කෝටි 50කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අහුංගල්ල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27) පස්වරුවේ සමත් විය. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත අහුංගල්ල සහ අම්බලන්ගොඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මෙම විශේෂ මෙහෙයුමේදී ජාවාරම්කරුවන් සතු වූ මත්ද්‍රව්‍ය තොගය පොලිස් භාරයට ගෙන ඇත.​මෙහිදී සිදුකළ සෝදිසි කිරීම්වලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 14කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ. මත්ද්‍රව්‍යවලට අමතරව සැකකරුවන් සන්තකයේ තිබූ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සඳහා භාවිත කරන සජීවී උණ්ඩ 30ක් ද පොලිසිය විසින් සොයාගනු ලැබීය. මෙම අවි උණ්ඩ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ද විමර්ශන කණ්ඩායම්වල දැඩි අවධානය යොමුව පවතී.​අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත. මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේ මෙහෙයවන්නන් සහ බෙදාහැරීමේ ජාලය අනාවරණය කර ගැනීම සඳහා ඉදිරි දින කිහිපය තුළ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,030

Leave A Reply

Your email address will not be published. Required fields are marked *