​කෝටි 847ක ගල් අඟුරු මංකොල්ලයක්: ආණ්ඩුවට සහ ඇමතිට එරෙහිව සජබ දැඩි ප්‍රහාරයක

ලක්විජය බලාගාරයට බාල ගල් අඟුරු සැපයීම හරහා රුපියල් කෝටි 847කට අධික මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුව ඇති බව සමගි ජන බලවේගය චෝදනා කරයි. අද (මාර්තු 15) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පෙන්වා දුන්නේ, අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම පැවැත්වූ පරීක්ෂණවලින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි. පලපුරුද්දක් නොමැති ඉන්දීය සමාගමක් හරහා ගල් අඟුරු නැව් 9ක් ගෙන්වීමේදී සෑම නැවකින්ම රුපියල් කෝටි 100ක පමණ පාඩුවක් රටට සිදුව ඇති බව ඔහු මෙහිදී අවධාරණය කළේය.​නියමිත ප්‍රමිතියෙන් තොරව ගල් අඟුරු සැපයූ සහ වගකීම් විරහිත ලෙස කටයුතු කළ අදාළ ඉන්දීය සමාගමටම යළිත් හදිසි මිලදී ගැනීම් යටතේ ටෙන්ඩර් ලබාදීමට රජය කටයුතු කිරීම පුදුම සහගත බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. අදාළ සමාගම සතු ට්‍රයිඩන් නැව් මගින් සිදුවන මෙම ගනුදෙනු හරහා පාලකයන්ට විශාල වාසි ලැබෙන බවටද ඔහු සැක පළ කළේය. මෙම දූෂිත ක්‍රියාවලිය හේතුවෙන් රටේ බලශක්ති ක්ෂේත්‍රය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, මින් පෙර පැවති රජය යටතේ මෙවැනි දූෂිත ටෙන්ඩර් ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක නොවූ බවත් ඔහු මතක් කර දුන්නේය.​විශේෂයෙන්ම බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම පවා දූෂණ චෝදනා එල්ල කර ඇති පසුබිමක, ඔහු තවදුරටත් ධුරයේ රැඳී සිටීම සදාචාරාත්මක නොවන බව අජිත් පී. පෙරේරා මහතා පෙන්වා දුන්නේය. අධිචෝදනා ලබා සිටින ඇමතිවරයෙකුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට ඇති අයිතිය ඔහු ප්‍රශ්න කළ අතර, විදුලි බිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව මෙම දූෂිත පාලනය බවද පැවසීය. මේ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශවයන්ට එරෙහිව ලබන 18 වැනිදා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ඔහු මෙහිදී අනාවරණය කළේය.​කෙසේ වෙතත්, ඉන්ධන පෝලිම් පාලනය කිරීම සඳහා රජය හඳුන්වා දුන් QR කේත ක්‍රමය සමගි ජන බලවේගය අගය කරන බව මන්ත්‍රීවරයා පැවසීය. මෙය මීට පෙර හඳුන්වා දීමට තිබූ දෙයක් වුවද, ප්‍රමාද වී හෝ එය ක්‍රියාත්මක කිරීමෙන් ඉන්ධන බෙදා හැරීමේ පීඩනය යම් මට්ටමකට සමනය වී ඇති බව ඔහු පිළිගත්තේය. අමාත්‍යවරයාගේ පරිපාලන දුර්වලතා මධ්‍යයේ වුවද, මෙම තාක්ෂණික පියවර සාර්ථක වී ඇති බැවින් ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග අඛණ්ඩව ලබාදීමට රජය කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.​රටේ පිරිසිදු පාලනයක් ගැන කතා කරමින් බලයට පැමිණි පිරිස් මහ දවල් සිදුකරන මෙම මහා පරිමාණ සොරකම් හෙළිදරව් කිරීමේ ගෞරවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බවද අජිත් පී. පෙරේරා මහතා පැවසීය. ආණ්ඩුවේ දූෂණ වංචා වසන් කිරීමට විවිධ පාර්ශව උත්සාහ කළද, රටට සිදුවන මෙම විනාශයට එරෙහිව විපක්ෂයේ සියලු දෙනා එක්විය යුතු බව ඔහු අවසාන වශයෙන් ඉල්ලා සිටියේය. තිරසාර බලශක්ති විසඳුම් ලෙස සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමට මින් පෙර ගත් උත්සාහයන් යටපත් කරමින් සිදුකරන මෙම ගල් අඟුරු වංචාවට එරෙහි සටන අත්නොහරින බවද ඔහු අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,053

Leave A Reply

Your email address will not be published. Required fields are marked *