දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා දැඩි ලෙස හානි වූ කුඹුරු යායවල ගොඩගැසී ඇති වැලි සහ වැලි මිශ්‍ර පස් ඉවත් කිරීම සඳහා අවශ්‍ය අවසරය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් මේ වන විටත් ලබා දී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය (GSMB) සඳහන් කරයි. මෙම පියවර ගෙන ඇත්තේ, ගොවීන් මුහුණ දෙන ගැටලුව කඩිනමින් විසඳා, ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු යළි ආරම්භ කිරීමට සහාය වීම අරමුණු කර ගනිමිනි.ඒ අනුව, මහවැලි අධිකාරියට අයත් පොළොන්නරුව, ත්‍රිකුණාමලය, අම්පාර, බදුල්ල, මඩකලපුව, මාතලේ, වව්නියාව, මුලතිව්, අනුරාධපුරය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පිහිටි හුරුළුවැව, රඹකැන් ඔය හා ආශ්‍රිත කුඹුරු ආදී වගාබිම්වල තැන්පත් වී ඇති වැලි සහ වැලි මිශ්‍ර පස් ඉවත් කිරීමට විධිමත් අනුමැතිය ලැබී ඇත. ගොවීන්ට තම වගා ඉඩම් හෝ ගොඩ ඉඩම් වෙත මෙම පස් සැහැල්ලු ප්‍රවාහන මාධ්‍යයක් ඔස්සේ ප්‍රවාහනය කිරීමට හැකි අතර, එමගින් හානියට පත් වූ ඉඩම් කඩිනමින් යළි සකස් කර ගැනීමට අවස්ථාව ලැබේ.එමෙන්ම, මහවැලි අධිකාරියට අයත් නොවන සෙසු වගා බිම් සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කර ඇත. එවැනි වගා භූමි තුළ එකතු වී ඇති වැලි හා වැලි මිශ්‍ර පස් ඉවත් කර, එම වගා භූමියේම කොටසක ගබඩා කිරීම සඳහා අනුමැතිය ලබා දීමට අදාළ උපදෙස් කාර්යාංශයේ ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවන් වෙත මේ වන විටත් ලබා දී ඇත. මෙමගින් ගොවීන්ට තම ඉඩම් කඩිනමින් වගා සඳහා සූදානම් කර ගැනීමට පහසුකම් සැලසේ.


























