ගනේමුල්ල සංජය ඝාතන සැකකරුවන්ගේ බැංකු ගිණුම් ගැන විමර්ශනයක්

පාතාල කල්ලි සාමාජික ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයන් අට දෙනකුගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දුන්නාය.

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති මෙම සැකකරුවන් අතර බන්ධනාගාරගත පොලිස් කොස්තාපල් ලහිරු ප්‍රසන්න ඇතුගල ද ඇතුළත් වේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාවක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කර ඇත. එම වාර්තාවේ සඳහන් වන්නේ ගණේමුල්ලේ සංජීව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අතර මුදල් සංසරණය වී ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත්, සැකකරුවන්ගේ දුරකථන පණිවිඩ හරහා මෙය තහවුරු වී ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා බැංකු වාර්තා පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පොලිසිය අධිකරණයට දන්වා ඇත. මීට අමතරව, බන්ධනාගාරගත කර ඇති සැකකරුවන් අට දෙනාගේ ප්‍රකාශ සටහන් කිරීම තවදුරටත් සිදු කළ යුතු බැවින්, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනකුට බන්ධනාගාරයට ගොස් එම ප්‍රකාශ සටහන් කිරීමට අවසර දෙන ලෙසද ඉල්ලා තිබේ.

What's your reaction?

Related Posts

1 of 595

Leave A Reply

Your email address will not be published. Required fields are marked *