ආනයනික ගල්අඟුරු ප්‍රමිතියෙන් තොරවීම නිසා සිදුවන අතිරේක පාඩුව හෝ අමතර වියදම් ඉදිරි විදුලි ගාස්තු සංශෝධනවලදී මහජනතාව මත පටවන්නේ නැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවධාරණය කරයි. විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන ක්‍රියාවලීන් සඳහා වැයවන ඉතා සාධාරණ පිරිවැය පමණක් ගාස්තු තීරණය කිරීමේදී සලකා බලන බව එම කොමිසම පවසයි.පසුගිය ගාස්තු සංශෝධනවලදී ද මෙවැනි අසාධාරණ පිරිවැයන් බැහැර කර ඇති අතර, ඉදිරියේදීත් එම ප්‍රතිපත්තිය අකුරටම ක්‍රියාත්මක කිරීමට කොමිසමේ ඒකමතික තීරණයක් ලැබී තිබේ. ඒ අනුව විදුලි බල මණ්ඩලය මඟින් සිදුකරන මෙහෙයුම්වලදී සිදුවන කාර්යක්ෂමතාව අවම වීම් හෝ ප්‍රසම්පාදන දුර්වලතා හේතුවෙන් මතු වන අතිරේක වියදම් පාරිභෝගික බිල්පතට එක් නොවන බව තහවුරු කර ඇත.මෙමඟින් බලාපොරොත්තු වන්නේ විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කරමින් වඩාත් විනිවිදභාවයකින් යුත් මිල සූත්‍රයක් පවත්වාගෙන යාමයි. ගල්අඟුරු තත්ත්වයේ ගැටලු මත සිදුවන මූල්‍යමය අලාභයන් විදුලි ගාස්තු හරහා අය කරගැනීමට උත්සාහ කළද, ඒවා සාධාරණ නොවන පිරිවැය (Unreasonable costs) ලෙස සලකා ඉවත දැමීමට මහජන උපයෝගීතා කොමිසම කටයුතු කරනු ඇත.























