විපක්ෂය විසින් එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ වත්මන් ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විධිමත් මාර්ගෝපදේශ සහ ප්‍රසම්පාදන කොමිසමේ අනුමැතියට යටත්ව සිදු කර ඇති බවයි. සතිපතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේ ලියාපදිංචි සැපයුම්කරුවන් 26 දෙනෙකුගෙන් 10 දෙනෙකු ලංසු ඉදිරිපත් කළ බවත්, අභියාචනා ඉදිරිපත් කිරීමට ලබා දුන් කාලය තුළ කිසිදු සමාගමක් විරෝධතාවක් දක්වා නොමැති බවත්ය. ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව නැව්ගත කිරීමට පෙර සහ මෙරටට ගොඩබෑ පසු ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ‘Cotecna’ ආයතනය හරහා පරීක්ෂණ සිදු කරන බවත්, එහිදී කැලරි වටිනාකම නියමිත ප්‍රමිතියට (6,150 kcal/kg) වඩා අඩු වන සෑම අවස්ථාවකදීම දැඩි දඩ මුදල් අය කරන බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.ඒ අනුව, මේ දක්වා මෙරටට පැමිණි නැව් 10න් පරීක්ෂණ වාර්තා ලැබී ඇති නැව් 6ක් සඳහාම දඩ පනවා තිබේ. පළමු නැව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 2.07ක දැවැන්ත දඩයක් ඇතුළුව අනෙකුත් නැව් සඳහා ද පිළිවෙළින් ඩොලර් 436,000, ඩොලර් 484,929, ඩොලර් 345,652, ඩොලර් 500,192 සහ ඩොලර් 510,677 බැගින් දඩ මුදල් අය කර ඇත. පසුගිය වසරවල මෙන් නොව මෙවර භාර ගැනීමේදී ඉන්දියානු පරීක්ෂණාගාර වාර්තා පවා නැවත තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවත්, තාක්ෂණික ගැටලු සහ සිදුවිය හැකි අලාභයන් විමර්ශනය කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් සහ අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සැදි කමිටුවක් පත් කිරීමට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


























