නොරොච්චෝලේ බලාගාරයේ ගල් අඟුරු සැපයුම සම්බන්ධයෙන් විපක්ෂය එල්ල කරන චෝදනා පිටුපස සිය හිතවතුන්ට ටෙන්ඩර් ලබා දීමේ රහසිගත කුමන්ත්‍රණයක් පවතින බව සිවිල් බුද්ධි පෙරමුණ අනාවරණය කරයි. අද පැවැති මාධ්‍ය හමුවකදී එහි සභාපති සංජය මහවත්ත මහතා කියා සිටියේ, වත්මන් සැපයුම්කරු ඉවත් කර දෙවන ටෙන්ඩර්කරු වෙත අවස්ථාව ලබා දීම සඳහා විපක්ෂය රජය විවේචනය කරමින් සිටින බවයි. විශේෂයෙන්ම බලාගාරයෙන් පිටවන සුදු දුම් පිළිබඳව අසත්‍ය මත පතුරවමින් ජනතාව නොමඟ යැවීමට විපක්ෂය උත්සාහ කරන බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.මෙම ක්‍රියාවලිය හරහා රජයට විශාල මූල්‍ය පාඩුවක් සිදු කිරීමට විපක්ෂය සැරසෙන බවත්, වත්මන් ටෙන්ඩරය හරහා රජයට ඩොලර් බිලියන ගණනක ඉතිරියක් සැලසී ඇති බවත් මහවත්ත මහතා අවධාරණය කළේය. අජිත් පී. පෙරේරා මහතා වැනි විපක්ෂ දේශපාලනඥයන් සිදුකරන ප්‍රකාශවල සැබෑ අරමුණ පරණ සැපයුම්කරුවන්ට හෝ හිතවත් ව්‍යාපාරිකයින්ට මෙම ටෙන්ඩරය ලබා දීම බව හෙළි කළ ඔහු, මෙම කුමන්ත්‍රණය පිටුපස නාමල් හේවගේ නැමැති පුද්ගලයෙකු සිටින බවටද සෘජුව චෝදනා කළේය.විපක්ෂය විසින් සිදුකරන මෙම දේශපාලන මැදිහත්වීම සම්බන්ධයෙන් තමන් සතුව ප්‍රබල වීඩියෝ සාක්ෂි පවතින බවත්, “ගල් අඟුරු කළු දේ සුදු කරනවා” යැයි කියමින් විපක්ෂය කරන්නේ ජනතාව මුලා කිරීමක් බවත් සිවිල් බුද්ධි පෙරමුණ පවසයි. වත්මන් සැපයුම්කරු ඉවත් කර දෙවන ටෙන්ඩර්කරුට මග පෑදීමට ගන්නා මෙම උත්සාහය පරාජය කළ යුතු බවත්, වැරැද්ද කොතැන වුවත් එය නිවැරදිව පෙන්වා දීම තම සංවිධානයේ වගකීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


























