අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව, පඩිකාරමඩුව ප්‍රදේශයේ සිදුවූ අතිශය ශෝචනීය පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු සිය නිවසට ගිනි තැබීමෙන් මේ වන විට පුද්ගල මරණ තුනක් වාර්තා වී තිබේ. අද (06) අලුයම 2ට පමණ එල්ල කරන ලද මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන්, ගිනි තැබීම සිදුකළ 43 හැවිරිදි පුද්ගලයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය එම ස්ථානයේදීම මියගොස් ඇත. දරුණු පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව සිටි 36 හැවිරිදි බිරිඳ ද මීට සුළු වේලාවකට පෙර අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කරයි.මෙම ඛේදවාචකය සිදුවන අවස්ථාවේ නිවසේ සිටි 66 හැවිරිදි මිත්තණිය සහ 15 හැවිරිදි දියණිය දරුණු පිළිස්සුම් තුවාල ලබා දැනට අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ. නිවස ගිනිගන්නා අවස්ථාවේ එහි නොසිටි 20 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා, සිද්ධිය අසා වහා එම ස්ථානයට පැමිණ තම මව සහ සහෝදරියන් බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වී ඇත. එහිදී ඔහු ද පිළිස්සුම් තුවාලවලට ලක්ව රෝහල්ගත කර තිබේ.පොලිස් විමර්ශනවලට අනුව, ගිනි තැබීම සිදුකළ පුද්ගලයා දැඩි ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූවෙකු වන අතර ඔහු නිරන්තරයෙන් තම බිරිඳට සහ පවුලේ අයට හිංසා පීඩා පමුණුවා ඇත. මෙම පවුල් ආරවුල් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම ගලෙන්බිඳුණුවැව පොලිසියට පැමිණිලි ඉදිරිපත් වී තිබූ අතර, එහිදී පොලිසිය විසින් දෙපාර්ශවය කැඳවා අවවාද කර මුදා හැර ඇති බවද අනාවරණය වී තිබේ.අධික ලෙස මත්පැන් පානය කර ඇති වූ කෝපය පාලනය කරගත නොහැකිව සිදුකළ මෙම අමනෝඥ ක්‍රියාව හේතුවෙන් සතුටින් සිටිය යුතු පවුලක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇත. ඉතිරිව සිටින දරුවන් සහ මිත්තණියගේ තත්ත්වය ද තවමත් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ගලෙන්බිඳුණුවැව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.


























