ග්‍රෙගරි වැවට කඩා වැටුණු සිනමන් එයාර් යානය ගොඩගැනීමේ මෙහෙයුම් දැඩි අර්බුදයක

නුවරඑළිය ග්‍රෙගරි වැවට කඩා වැටුණු සිනමන් එයාර් සමාගමට අයත් සෙස්නා 208 කැරවන් (Cessna 208 Caravan) වර්ගයේ මුහුදු යානය ගොඩගැනීමේ කටයුතු වැව පතුලේ පවතින දුෂ්කර තත්ත්වයන් හේතුවෙන් දැඩි බාධාවන්ට ලක්ව ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය. පසුගිය බ්‍රහස්පතින්දා (8) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ගුවන් යානයේ ඉදිරිපස කොටස වැව පතුලේ මඩෙහි එරී තිබීම හේතුවෙන් එය මතුපිටට ගැනීම අතිශය අසීරු වී ඇති බවයි.​මෙම තත්ත්වය හමුවේ යානය ගොඩගැනීම සඳහා ‘මාස්ටර් ඩයිවර්ස්’ (Master Divers) පෞද්ගලික සමාගමේ සහාය ලබා ගැනීමට අදාළ අංශ පියවර ගෙන තිබේ. වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රමිතීන්ට අනුකූලව මෙම අනතුර පිළිබඳ සවිස්තරාත්මක පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ‘ඇනෙක්ස් 13’ (Annex 13) කමිටුවක් ද පත් කර ඇත.​පසුගිය බදාදා (7) ගොඩබැස්සවීමට උත්සාහ කිරීමේදී මෙම යානය අනතුරට පත් වූ අතර, එම අවස්ථාවේදී ගලවා ගැනීමේ කටයුතුවලට සහාය වූ ආරක්ෂක අංශ, ප්‍රදේශවාසීන් සහ සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන්ට අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ස්තූතිය පිරිනැමීය. යානය ගොඩගැනීමෙන් පසු එහි කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹට ප්‍රවාහනය කිරීමට නියමිත අතර, පරීක්ෂණ නිම වූ වහාම එහි වාර්තාව මහජනතාවට මුදාහරින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 934

Leave A Reply

Your email address will not be published. Required fields are marked *