ග්‍රෙගරි වැවට ගුවන් යානය කඩා වැටීමේ සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්!

නුවරඑළිය ග්‍රෙගරි වැවට ගුවන් යානයක් කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ වාර්තාව පරස්පර විරෝධී බවත්, ගුවන් නියමුවාගේ සුදුසුකම් නිසි ලෙස විමර්ශනය කර නොමැති බවත් පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම අනතුර සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින පැමිණිලිකරු, විශේෂයෙන්ම දිය මත ගොඩබස්වන ගුවන් යානා (Seaplanes) හැසිරවීම සඳහා අදාළ නියමුවාට නිසි සුදුසුකම් තිබුණේ ද යන්න පිළිබඳව සොයා බලන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. නියමුවාට මෙම යානය පියාසර කරවීමට අවසර ලැබුණු ආකාරය මෙන්ම, ඔහුට ලබා දී තිබූ පුහුණුව සහ සහතික කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ද විමර්ශනය කරන ලෙස එහි සඳහන් වේ.​පැමිණිලිකරු වැඩිදුරටත් චෝදනා කරන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ වාර්තාව අත්සන් නොතැබූ එකක් බවත්, එහි නියමුවාගේ සමස්ත පියාසර පැය ගණන සඳහන් වුවද දිය මත පියාසර කරන යානා පිළිබඳ ඔහුගේ පළපුරුද්ද පැහැදිලිව දක්වා නොමැති බවත්ය. කාලගුණික තත්ත්වයට වඩා නියමුවාගේ අත්දැකීම් මදිකම මෙම අනතුරට ප්‍රධාන හේතුව වී ඇති බව පවසන ඔහු, සිද්ධියට අදාළ තොරතුරු බලධාරීන් විසින් සඟවන බවට ද සැක පළ කරයි. මේ හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,053

Leave A Reply

Your email address will not be published. Required fields are marked *