ලොව පුරා වාර්ෂිකව ගැබ්ගෙල පිළිකා රෝගීන් 600,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන අතර, ඉන් 340,000ක් පමණ මියයන බව වාර්තා වේ. මෙය ගෝලීය වශයෙන් කාන්තාවන් අතර දක්නට ලැබෙන හතරවන පොදු පිළිකා තත්ත්වයයි. මෙම මරණ සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා රෝගය කල්තියා හඳුනා ගැනීම අතිශය තීරණාත්මක බව සෞඛ්‍ය විශේෂඥයෝ අවධාරණය කරති. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශෂීමාලි වික්‍රමසිංහ මහත්මිය පවසන්නේ, මෙම රෝගය මූලික වශයෙන් හියුමන් පැපිලෝමා වෛරසය (HPV) මගින් වැළඳෙන අතර, කල්තියා හඳුනා ගැනීමෙන් එය ඵලදායී ලෙස වළක්වා ගැනීමට හෝ ප්‍රතිකාර කිරීමට හැකි බවයි.ශ්‍රී ලංකාව තුළ ගැබ්ගෙල පිළිකාව කාන්තාවන් අතර පස්වන බහුලම පිළිකාව ලෙස හඳුනාගෙන ඇත. 2021 වසරේදී මෙරටින් රෝගීන් 1,226ක් වාර්තා වී ඇති අතර එම වසරේදී මරණ 179ක් සිදුව තිබේ. නිසි වේලාවට සිදුකරන පරීක්ෂාවන් සහ HPV එන්නත ලබා ගැනීම මගින් මෙම පිළිකාව වළක්වා ගැනීමට ඉහළ හැකියාවක් පවතින බව වෛද්‍ය වික්‍රමසිංහ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය. මේ අතර, 2030 වසර වන විට ලොවෙන් ගැබ්ගෙල පිළිකා තුරන් කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණ වී ඇති අතර, වෛරසය පැතිරීම පාලනය කිරීමේ ප්‍රධානතම ක්‍රමවේදයක් ලෙස HPV එන්නත්කරණය හඳුනාගෙන ඇත.


























