ගැඹුරු මුහුදේදී අනතුරුට පත් ධීවරයෙකු නෞකාව තුළදී හදිසි සැත්කමක්

ගැඹුරු මුහුදේදී මසුන් ඇල්ලීමට භාවිතා කරණු ලබන බිලී කටුවක් ඇමිනීම හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකුව හදිසි සැත්කමක් සිදුකර අද ගොඩබිමට රැගෙනවිත් වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ, ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබෙනවා

බේරුවල ධීවර වරායෙන් 2024 දෙසැම්බර් මස 05 වැනි දින ධීවරයින් හත් දෙනෙකු (07) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘Duwa Shainee’ නමැති බහුදින ධීවර යාත්‍රාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගාල්ල සිට නාවික සැතපුම් 259 ක් (කිමි 479 ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී, හදිසි අනතුරක් හේතුවෙන්, එහි සිටි ධීවරයෙකුගේ අතෙහි මසුන් ඇල්ලීමට භාවිතා කරණු ලබන බිලී කටුවක් ඇමිනීමෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇති බවත්, එය ඉවත් කිරීමට හදිසි සැත්කමක් කිරීම සඳහා එම ධීවරයා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කර තිබුනා

ඒ අනුව, එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, අසාධ්‍යව සිටි ධීවරයා ගොඩබිමට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව පිටත් කර හැරීමට කටයුතු ‍කෙරුණු අතර, 20 වැනි දින අසාධ්‍යව සිටි ධීවරයා විජයබාහු නෞකාව වෙත ලබාගැනීම සිදු කෙරිණි.

අනතුරුව විජයබාහු නෞකාවේ වෛද්‍යවරයා විසින් අසාධ්‍ය ධීවරයා පරීක්‍ෂා කර, නෞකාව තුළදී සිදුකළ සාර්ථක හදිසි සැත්කමකින් ධීවරයාගේ දකුණු අතෙහි ඇඟිල්ලක ඇමිනී තිබූ බිලී කටුව ඉවත් කර අවශ්‍ය ප්‍රථිකාර ලබාදීම සිදු කෙරිණි.

පසුව අද එම ධීවරයා විජයබාහු නෞකාව මඟින් කොළඹ වරාය ආසන්නයට රැගෙන ඒමෙන් අනතුරුව, බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා රෝගී ධීවරයා කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා මෙලෙස කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටියි.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *