චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිවාරය මගින් චීනයේ ආර්ථික හා සමාජ ප්‍රගතිය ශක්තිමත් කරන අතරම ගෝලීය සහයෝගිතාව සඳහා නව අවස්ථා උදා කරන නව සංවර්ධන සැලැස්මක් ගෙනහැර දක්වා ඇති බව, ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා නොවැම්බර් 21 වැනිදා කොළඹදී පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. ෂැන්ග්‍රි-ලා හෝටලයේ පැවති රැස්වීමක් අමතමින් තානාපතිවරයා කියා සිටියේ, මෙම සැසිවාරයේදී චීනයේ 15 වැනි පස් අවුරුදු සැලැස්ම සඳහා වූ නිර්දේශ සම්මත කළ බවත්, එමගින් ඉදිරි වසර පහ සඳහා ඉහළ ගුණාත්මක වර්ධනය, තාක්ෂණික නවෝත්පාදනය, හරිත සංක්‍රාන්තිය සහ වැඩිදියුණු කළ ජීවන තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරමින් රටේ සංවර්ධනයට මග පෙන්වන බවත්ය. 14 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කළ කාලය තුළ චීනය සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය සියයට 5.5 ක් පමණ වාර්තා කළ බවත්, දළ දේශීය නිෂ්පාදිතය 2025 වන විට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 19 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගෝලීය ආර්ථික වර්ධනයට සියයට 30 ක පමණ දායකත්වයක් ලබා දෙන බවත් ඔහු සඳහන් කළේය. පුනර්ජනනීය බලශක්ති, දරිද්‍රතාවය පිටුදැකීම සහ නවෝත්පාදනයන්හි දියුණුව අවධාරණය කළ ඔහු, චීනයේ මේ වන විට ඉහළ තාක්ෂණික ව්‍යවසායන් 500,000 කට අධික සංඛ්‍යාවක් පවතින බවද පැවසීය. ඉදිරි 15 වැනි පස් අවුරුදු සැලැස්ම, තාක්ෂණික ස්වයංපෝෂිතභාවය ශක්තිමත් කිරීම, ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම, ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සහ හරිත වැඩසටහන් මගින් තිරසාර සංවර්ධනයක් ලබා ගැනීම ඇතුළු ප්‍රධාන ඉලක්ක සකස් කර ඇති අතර, මෙම සැලැස්ම තුළින් ‘බෙල්ට් ඇන්ඩ් රෝඩ්’ වැඩසටහන ඔස්සේ විවෘතභාවය වැඩි කිරීම සහ සහයෝගීතාව පුළුල් කිරීමද ඉලක්ක කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන්ගේ මෑත කාලීන සංචාර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කළ බව පවසමින්, ශ්‍රී ලංකාව සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය කැපවී සිටින බව තානාපතිවරයා යළිත් අවධාරණය කළේය. ‘පිවිතුරු ශ්‍රී ලංකා’, ‘ඩිජිටල් පරිවර්තනය’ සහ ‘ග්‍රාමීය සංවර්ධන’ වැනි ශ්‍රී ලංකාවේ ජාතික වැඩසටහන් සමඟ සමීපව කටයුතු කරමින් වරාය, කෘෂිකර්මය, පුනර්ජනනීය බලශක්ති, ඩිජිටල් ආර්ථිකය සහ සංචාරක වැනි අංශවලින් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව පුළුල් කිරීමට චීනය සූදානම් බව ඔහු කීවේය. චීනයේ නවීකරණ ප්‍රයත්නවලින් එරට ජනතාවට පමණක් නොව, ගෝලීය සමෘද්ධිය සඳහාද දායකත්වයක් ලැබෙන බවත්, චීනය සමඟ හවුල්කාරිත්වය දිගුකාලීන අවස්ථාවක් සහ අන්‍යෝන්‍ය වර්ධනයක් නියෝජනය කරන බවත් අවධාරණය කරමින් ඔහු වැඩිදුරටත් පැවසීය.























