චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ (JVP) නායකත්වයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි. ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවති මෙම හමුව සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික වැන්ග් ජුන්ෂෙන්ග් (Wang Junzheng) මහතා ඇතුළු දූත පිරිසක් එක් වූහ. ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ අමාත්‍යවරුන් වන සුනිල් හඳුන්නෙත්ති හා වසන්ත සමරසිංහ යන මහත්වරුන් සම්බන්ධ විය.මෙහිදී දෙපාර්ශ්වය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගන්නා ලදී. විශේෂයෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරයට සමගාමීව අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම් ප්‍රකාරව 2025 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. පක්ෂ දෙක අතර පවතින සබඳතා ඉදිරි වසරේදී තවදුරටත් පුළුල් කරගත යුතු ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම වෙනුවෙන් චීන රජය දැක්වූ නොමසුරු දායකත්වය පිළිබඳව ටිල්වින් සිල්වා මහතා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය. චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරෙකු ලෙස මෙවැනි ආපදා අවස්ථාවන්හිදී පෙනී සිටීම අගය කළ ඔහු, එම සහයෝගය අනාගතයේදී ද අපේක්ෂා කරන බව සඳහන් කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් වැන්ග් ජුන්ෂෙන්ග් මහතා ප්‍රකාශ කළේ ඉදිරියටත් එවැනි මානුෂීය සහයෝගීතාවයන් ලබා දීමට තම රජය සූදානම් බවයි.චීන කොමියුනිස්ට් පක්ෂයේ නවතම දේශපාලන ප්‍රවණතා පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි. පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිවාරයේ වැදගත්කම සහ ඊට සමගාමීව මෙරටදී පැවති වැඩසටහන්වල සාර්ථකත්වය පිළිබඳව චීන නියෝජිත පිරිස කරුණු දැක්වූහ. දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය සඳහා පක්ෂයක් ලෙස ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු විය.එමෙන්ම, චීනය මේ දිනවල සැලසුම් කරමින් සිටින 15 වන පස් අවුරුදු සැලැස්ම සම්බන්ධයෙන් ද චීන දූත පිරිස කරුණු ඉදිරිපත් කරන ලදී. චීනයේ අනාගත සංවර්ධන ඉලක්ක සහ එමඟින් කලාපීය සහයෝගීතාවයට ඇති විය හැකි බලපෑම පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය සහ මෙරට වත්මන් දේශපාලන පරිවර්තනය පිළිබඳව ද මෙහිදී විදේශීය නියෝජිතයින් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.සමස්තයක් ලෙස මෙම හමුව දෙරටේ පක්ෂ දෙක අතර ඇති අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් තහවුරු කරන්නක් විය. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන ගමන්මග තුළ චීනය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම පක්ෂ මට්ටමින් පවතින සහයෝගීතාවය ද ඉදිරි කාලය තුළ නව මාවතකට පිවිසෙනු ඇති බව සාකච්ඡාව අවසානයේ අවධාරණය විය.

























