අමෙරිකාව ප්‍රමුඛ ගෝලීය පිළිවෙළට එරෙහිව සිය සහයෝගිතාව පෙන්වමින්, චීනයේ සහ රුසියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සමග එක් වූ අවස්ථාවක, පාගා යන සෙබළුන්ගේ පෙළපාලි සහ බලවත් න්‍යෂ්ටික මිසයිල ප්‍රදර්ශනයක් සිකුරාදා සවස (ඊයේ) වැසි සහිත උතුරු කොරියානු අගනුවර ඔස්සේ ගමන් කළේය.සිය පාලක කම්කරු පක්ෂයේ 80 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්, අගනුවර වන ප්‍යොංග්යෑංහි ප්‍රධාන චතුරස්‍රයේ දී මෙම දැවැන්ත හමුදා පෙළපාලිය සංවිධානය කර තිබුණි. මෙම දර්ශනය ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව නැගී සිටීම සඳහා චීනයට සහ රුසියාවට හවුල්කරුවෙකු ලෙස තම රටේ වැඩෙන භූ දේශපාලනික වටිනාකම පෙන්වීමට අවස්ථාවක් කර ගත්තේය.සෙනසුරාදා උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය විසින් නිකුත් කරන ලද ඡායාරූපවලට අනුව, චීනයේ දෙවැනි ඉහළම නිලධාරියා වන අග්‍රාමාත්‍ය ලී ක්චියෑං (Li Qiang), රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති සහ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීපතම සගයෙකු වන දිමිත්‍රි මෙද්වදෙව් (Dmitri Medvedev) සහ වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධානී ටෝ ලැම් (To Lam) යන මහත්වරුන් කිම් ජොන්ග්-උන් සමග නිරීක්ෂණ වේදිකාවට එක් වී සිටියහ.මෙම පෙළපාලිය, උතුරු කොරියාව සහ රුසියාව අතර ගැඹුරු වන හමුදා සබඳතා ඉස්මතු කිරීමට ද අවස්ථාවක් විය. යුක්‍රේනයට එරෙහි යුද්ධයේ දී රුසියාව වෙනුවෙන් සටන් කළ උතුරු කොරියානු සෙබළුන් දෙරටේම ධජ රැගෙන පෙළපාලියට එක් වී සිටියහ. දකුණු කොරියානු නිලධාරීන් පවසන පරිදි, උතුරු කොරියාව රුසියාවට හමුදා භටයින් 15,000 ක් සහ විශාල කාලතුවක්කු උණ්ඩ, රොකට් සහ මිසයිල තොගයක් සපයා ඇත.හමුදා පෙළපාලියට පෙර කළ කතාවේ දී කිම් ජොන්ග්-උන් කියා සිටියේ, උතුරු කොරියානුවන් “අයුක්තියට හා ආධිපත්‍යයට විරුද්ධව සහ යුක්තිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා වූ ප්‍රගතිශීලී මානව වර්ගයාගේ ඒකාබද්ධ අරගලයේ දී ඔවුන්ගේ වගකීම් ඉටු කිරීමට” ඉදිරියටත් කටයුතු කරනු ඇති බවයි. මෙය ඇමරිකාව ප්‍රමුඛ බටහිරට එරෙහිව කළ ව්‍යංග ප්‍රකාශයකි.මෙම පෙළපාලියේ දී හමුදා ඩ්‍රෝන යානා, නවීන විද්‍යුත් යුධ උපකරණ සහිත ටැංකි සහ හයිපර්සොනික් බැලස්ටික් මිසයිල සහ උතුරු කොරියාවේ නවතම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල (ICBM) වන හ්වාසොං-20 (Hwasong-20s) ඇතුළු විවිධ මිසයිල ප්‍රදර්ශනය කර තිබේ.උතුරු කොරියාවේ න්‍යෂ්ටික මිසයිල ප්‍රදර්ශනය නැරඹීමට චීන හා රුසියානු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ප්‍යොංග්යෑං නුවරට පැමිණීම, උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් බීජිං සහ මොස්කව්හි ප්‍රතිපත්තිමය වෙනසක් ඇති බව තහවුරු කළේය.මෑත මාසවල දී, රුසියානු නිලධාරීන් උතුරු කොරියාවේ “න්‍යෂ්ටිකහරණය” සම්බන්ධයෙන් තවදුරටත් අවධාරණය නොකරන බවත්, එය “වසන ලද” කරුණක් ලෙස හඳුන්වන බවත් පෙන්වා දී තිබේ. චීනය ද උතුරු කොරියාව සමඟ පැවති ඉහළ මට්ටමේ හමුදා රැස්වීම්වලින් පසු නිකුත් කළ නිල ප්‍රකාශවල “න්‍යෂ්ටිකහරණය” ගැන සඳහන් කර නැත.