
ශ්‍රී ලංකාවේ චෙක් ජනරජයේ තානාපතිනි ආචාර්ය Eliska Zigova මහත්මිය අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූ අතර මෙහිදී චෙක් ජනරජය විසින් ශ්‍රී ලංකාවට දක්වන අඛණ්ඩ සහයෝගය අග්‍රාමාත්‍යවරිය පැසසුමට ලක් කළාය.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය යළි අවධාරණය කරමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා පවතින නව ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.
රටේ දේශපාලන ස්ථාවරත්වය සහ මහජන විශ්වාසය පිළිබිඹු කරමින්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සඳහා නව රජය දක්වන කැපවීම සහ සාමකාමී මැතිවරණ දෙකක් සාර්ථකව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද තානාපතිනිය මෙහිදී සිය ප්‍රසාදය පල කළාය.
රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහිද මෙම හමුව අතරතුර සාකච්ඡා විය. තානාපති Zigova දෙරට අතර දැනට පවතින ගිවිසුම්වල වැදගත්කම පෙන්වා දුන් අතර ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමට තම රජයේ කැමැත්ත ප්‍රකාශ කළාය.
දෙරටේ අතර විද්‍යාව සහ අධ්‍යාපනය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කළ අතර එයට අධ්‍යයන හුවමාරු වැඩසටහන්, පර්යේෂණ සහයෝගීතාව වර්ධනය සහ දැනුම හුවමාරු වැඩසටහන් ඇතුළත් කිරීමට අවධානය යොමු විය.
අග්‍රාමාත්‍යවරිය විසින් පරිසර සංරක්ෂණය සහ නාගරික තිරසරභාවය සඳහා කැප වූ ජාතික මට්ටමේ ව්‍යාපෘතියක් වන “Clean Sri Lanka වැඩසටහන” පිළිබඳව තානාපතිවරිය වෙත කරුණු ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන්, ස්වාභාවික පරිසර හා වර්ධනය වන සංචාරක පරිසර පද්ධති අත්විඳීමට චෙක් රජයේ සංචාරකයින්ට ආරාධනා කළාය.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් පී.ආර්.එස්.එස්. ගුණරත්න යන මහත්වරුන් සහ චෙක් ජනරජ තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.