ජනතාව එක්වී ගොඩනැගූ ලංකාවේ පළමු ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි

ජනාධිපති අනුර කුමාර දිසානායක

පරම්පරාවකින් තොරව, මුදල් බලයෙන් තොරව, කුමන්ත්‍රණවලින් තොරව හා මාධ්‍ය මගින් බොරු ප්‍රචාර නොකර ලංකා ඉතිහාසයේ ගොඩනැගුණු එකම ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බව පෙන්වා දුන්  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්‍රධාන සාධකය ජනතාව බවත් ලංකාවේ පළමු වතාවට ජනතාව එක්වී ගොඩනැගූ ආණ්ඩුව වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බවත් ප්‍රකාශ කළේය.

අද ආණ්ඩුවට බරපතළ චෝදනා කරන හිටපු පාලකයින් විසින් රට බංකොලොත්භාවයට පත් කිරීමේ අහිතකර ප්‍රතිවිපාක පසුගිය කාලය තුළ සියලු ජනතාව අත්විඳි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දූෂිත දේශපාලනය ක්‍රමය අවසන් කර රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා සැලසුමක් සහිත වැඩපිළිවෙළක් වත්මන් රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන බව සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (25) පස්වරුවේ හෝමාගම ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක් වෙමිනි.

මෙහිදී ජනතාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයකින් ලබා ගන්නා ලද  වැඩිම ප්‍රතිඵලය ලබා ගැනීමට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී අප සමත් වුණා. මේ ජයග්‍රහණය සාමාන්‍ය ජයග්‍රහණයක් නොමෙයි. ලංකා ඉතිහාසය තුළ විවිධ ආණ්ඩු සකස් වී තිබෙනවා සේම විවිධ අවස්ථාවල ආණ්ඩු පෙරළී ගොස් තිබෙනවා. ඒ සෑම ආණ්ඩුවක්ම නිර්මාණය වීමේදී ඊට ආවේණික වූ සාධක තිබුණා.  දෙමාපියන් අගමැති ධූරවල රාජකාරී කළ නිසා දියණියට එය ලබා දුන් අවස්ථාවන් තිබුණා. පරම්පරාවන් විසින් නායකත්වයට පත් කළ අවස්ථාවන්  අපේ රටේ තිබුණා.

එසේ නොමැති නම් මාමා ජනාධිපති, බෑනා ජනාධිපති කරවීම, අයියා ජනාධිපති නම් සහෝදරයා ජනාධිපති කරවීමේ ඉතිහාසයක් මේ රටේ තිබුණා. ඒ වගේම මැරබලය යොදවා, රාජ්‍ය බලය යොදවා, මුදල් බලය යොදවා රාජ්‍ය බලය ලබා ගත් අවස්ථා ලංකා ඉතිහාසයේ සුලබව තිබුණා.

විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් ආණ්ඩු බලය ලබා ගත් අවස්ථාවන්ද මෙරට දේශපාලන ඉතිහාසය තුළ සොයා ගන්න පුළුවන්. පාස්කු ප්‍රහාරය වැනි කුමන්ත්‍රණ ඊට ආසන්නම උදාහරණයයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය මේ වන වන විට හොඳින් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මාධ්‍යයෙන් ප්‍රබල ලෙස මතවාද ගොඩ නගා ආණ්ඩු ගොඩ නැගූ යුගයක්ද මේ රටේ තිබුණා. පරම්පරාවකින් තොරව, මුදල් බලයෙන් තොරව, කුමන්ත්‍රණවලින් තොරව හා මාධ්‍ය මගින් බොරු ප්‍රචාර නොකර ලංකා ඉතිහාසයේ ගොඩනැගුණු එකම ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්‍රධාන සාධකය වන්නේ ජනතාව වන ඔබයි. ලංකාවේ පළමු වතාවට ජනතාව එක්වී ගොඩනැගූ ආණ්ඩුව වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි.

අප භාරගත්තේ ආර්ථික වශයෙන් විශාල ලෙස කඩා වැටී තිබු රටක්. තෙල්, ගෑස්, පෝලිම් ඇති වී ඩොලර් සංචිත නොතිබුණ රටක් වත්මන් ආණ්ඩුවට භාර ගැනීමට සිදු වුණා. මතුපිටින් සමනය වී තිබුණත් අපට හිමි වුණේ අභ්‍යන්තරව විශාල අර්බුදයක් සහිත ආර්ථිකයක්. එවැනි රටක් ඉදිරියට ගෙනයාමට නම් නිවැරදි ක්‍රමවේදයක්  සකස්කර ගැනීමේ අභියෝගයක් ආණ්ඩුවට තිබුණා.

මහජනතාව වත්මන් ආණ්ඩුව කෙරෙහි විශාල බලාපොරොත්තු තබාගෙන තිබුණා. ඒ අනුව ප්‍රධාන සාධක තුනක් ඔස්සේ රට නිවැරදි දිශාවකට හැර විය යුතු බවට ජනතාව විශ්වාස කළා.  ජරාජීර්ණ,   නාස්තිකාර දේශපාලනය  අවසන් කිරීම, ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒම, නීතියේ ආධිපත්‍යයට ගරු කරන විනයගරුක සමාජයක් ඇති කිරීම යන ප්‍රධාන කරුණු ජනතාව වත්මන් ආණ්ඩුවට බලයට පත් කර ගනිමින් අපේක්ෂා කළා. මෙම සාධක ඉටු කිරීම ආණ්ඩුව ඉදිරියේ තිබෙන අභියෝගයයි. මේවා ජය ගැනීම සඳහා ආණ්ඩුව විසින් ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් තිබුණා.

ජාතික ජන බලවේගය ආණ්ඩුවට විදේශ සබඳතා නොමැති බවට විවිධ කණ්ඩායම් විසින් විවිධ කටකතා පතුරවා තිබුණා. ඇතැම් ජාත්‍යන්තර සංවිධානවලට ජාතික ජන බලවේගය පිළිබඳ යම් සැකයක් පවා තිබුණා. මීට පෙර පාලකයින් ජාතික ජන බලවේගය පිළිබඳ ගොඩනගා තිබු මතවාද ඊට හේතු වුණා.

සාමාන්‍යයෙන් මෙරට පත්වන රාජ්‍ය නායකයකු සිය පළමු රාජ්‍යතාන්ත්‍රික හමුව පවත්වන්නේ අසල්වැසි ඉන්දියාව සමඟයි. එම නිසා අප පළමු සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගනු ලැබුවා. ඉන්දු – ශ්‍රී ලංකා රාජතාන්තික සබඳතා නව පියවරකට ඔසවා තැබීමට එහිදී අප සමත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ග සංඥා පද්ධතිය නවීකරණය සඳහා ලබා දෙන ණය ආධාරය ප්‍රදානයක් බවට පත් කිරීමට ඉන්දියානු රජය එකඟ වුණා. යුද්ධය නිසා සංවර්ධනයෙන් පසුබෑමට ලක් වූ නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම සඳහා ප්‍රදානයක් ලබාදීමට ඉන්දියානු සංචාරයේදී එකඟතාව පළ වුණා.

2030 වසර වන විට ශ්‍රී ලංකාව ජාතික විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගත යුතුව තිබෙනවා. එම ධාරිතාව සම්පූර්ණ කර ගැනීම ශ්‍රී ලාංකාවේ විදුලි මිල සම්බන්ධවද ඍජු බලපෑමක් එල්ල කරනවා. යෝජිත සාම්පූර් සූර්ය බල ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමටද ඉන්දියානු රජය කැමැත්ත පළ කර තිබෙනවා. ඒ සඳහා ‍ප්‍රාග්ධන අවශ්‍යතාවය වෙනුවෙන් හා තාක්ෂණ අවශ්‍යතාව වෙනුවෙන් සමාගමක් ස්ථාපිත කිරීමට අපි අපේක්ෂා කරනවා. එම නව සමාගම මගින් සාම්පූර් බලාගාරයේ වැඩකටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතයි.

සාම්පූර් බලාගාරයේ ආයෝජන පැමිණෙන විට  විදුලි ඒකකයක් ඩොලර්  ශත හයකට මිලදී ගැනීමට යෝජනා වී තිබුණා. විදුලි ඒකකයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට ඉන්දියානු සංචාරයේ දී මම කටයුතු කළා. ඒ අනුව ඒකකයක් මේ වනවිට ඩොලර් ශත 5.84කට මිලදී ගැනීමට යෝජනා වී තිබෙනවා. සූර්ය බලශක්ති නිෂ්පාදනයෙන් විදුලි ඒකකයක් මිලදී ගැනීමේ මෑත කාලයේ අඩුම මිල බවට එය පත්වී තිබෙනවා. සූර්ය බලයෙන් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් මිලදී ගැනීම සඳහා කලින් අත්සන් කර ඇති ගිවිසුමට අනුව විදුලි ඒකකයක් මිලදී ගනු ලබන්නේ ඩොලර් ශත 8ක මුදලකටයි. ආසන්න වශයෙන් ගත් විට එය රුපියල් විසි හතරක්. වත්මන් ආණ්ඩුව යෝජනා කර ඇති විදුලි ඒකක මිලදී ගැනීමේ මිල ආසන්න වශයෙන් ගත් විට රුපියල් 18ක්. අපේ විදේශ සබඳතාවල ශක්තිමත්භාවය මෙම ගිවිසුම් මගින් අනාවරණය කර ගතහැකියි.

චීනය සහ ඉන්දියාව අතර යම් ප්‍රතිවිරෝධයක් පවතින බව රහසක් නෙමෙයි. ඒ පිළිබඳ වත්මන් ආණ්ඩුවද හොඳ ස්ථාවරයක සිටිනවා. ශ්‍රී ලංකාව කවර හෝ රාජ්‍යයකට එරෙහි සටන් භූමියක් බවට පත්කිරීමට අප ඉඩ තබන්නේ නැහැ. අපේ ආණ්ඩුවට ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් තිබෙනවා.

අප සිදු කළ චීන රාජ්‍ය  සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස රුපියල් මිලියන විසි දාහක පමණ ආධාරයක් ශ්‍රී ලංකාවට හිමි වුණා. හම්බන්තොට ඉදි වන තෙල් පිරිපහදුවේ වැඩකටයුතු කඩිනම් කිරීමට චීන සංචාරයේදී එම සමාගම එකඟතාව පළ කළා. එසේම ඩොලර් බිලියන 3.7ක එම ආයෝජනය ලංකා ඉතිහාසයේ වැඩිම ආයෝජනය වීමද විශේෂත්වයක්. එම ආයෝජන ප්‍රමාණයෙන් දෙකෙන් පංගුවකවත් එක් ආයෝජනයක් සඳහා පසුගිය වසර 76 තුළම ශ්‍රී ලංකාවට ලැබී තිබුණේ නැහැ. චීනය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 15කට අත්සන් තැබීමද මෙම සංචාරට අතරදී සිදු වුණා. එමෙන්ම පෙබරවාරි මස මැද පෙරදිග කලාපයේ සංචාරයකට එක්වීමටද අප බලාපොරොත්තු වනවා. මැදපෙරදිග කලාපය සමඟද  සබඳතා ශක්තිමත් කර ගැනීම අපගේ අපේක්ෂාව වනවා.

ආයෝජකයන්, කර්මාන්තකරුවන් වෙළඳපොළ කෙරෙහි විශ්වාසය ඇති කිරීම සඳහා නව ආණ්ඩුවට සැලසුමක් තිබෙනවා. සැලසුමක් අනුව එසේ  නොකරන්නේ නම්  ඩොලරය ශ්‍රී ලංකා රජයට පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වීමට ඉඩ තිබුණා. එසේ වූවානම් නම් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට නොහැකි වීමට ඉඩ තිබුණා. ආර්ථිකයේ ස්ථාවරභාවය ඇති කිරීම වෙනුවෙන් ආර්ථිකය කෙරෙහි විශ්වාසය ගොඩනැගීම වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛ අරමුණ වුණා. එම විශ්වාසය ගොඩනැගීම වෙනුවෙන් අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සම්පූර්ණයෙන් අවසන් කිරීමට අප සමත් වුණා. ශ්‍රී ලංකාව පසුගිය මාසයේදී නිල වශයෙන් බංකොලොත්භාවයෙන් මිදීම ප්‍රකාශ කෙරුණේ ඒ අනුවයි.

ඒ අනුව මෙරට බැංකු පද්ධතිය කෙරෙහි තිබූ විශ්වාසය යළි තහවුරු කිරීමට හැකිව තිබෙනවා. ජපාන ආධාර යටතේ මෙරට ආරම්භ කර අතරමග වැඩ නැවතී තිබු ව්‍යාපෘති 11ක වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට වත්මන් රජයට හැකි වුණා.  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීම එහි ප්‍රධාන  ව්‍යාපෘතියක් වනවා. ජපාන රජය සමඟ සාකච්ඡා කර මෙම ව්‍යාපෘති සියල්ල නැවත ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව අනුව ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති 11ක් සහ චීන රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති 76ක වැඩ නැවත  ආරම්භ කිරීමට පසුගිය මාස දෙකක කාලය තුළ වත්මන් රජයට  හැකියාව ලැබී තිබෙනවා.

සහනාධාර හිමිවිය යුතු පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් සහනාධාර ලබාදෙන ක්‍රමවේදයක් සකස් කිරීමට වත්මන් රජය සැලසුම් කර තිබෙනවා. ආධාර ලැබීමට සුදුසු පුද්ගලයන් පිළිබඳ නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙනවා. ලබන ජූනි මාසය වන විට එම දත්ත පද්ධතිය නිර්මාණය කිරීමට අපි අපේක්ෂා කරනවා.

එසේම  රැක බලා ගත යුතු කණ්ඩායම්  රැකබලා ගැනීම සඳහා වැඩපිළිවෙළක් නිර්මාණය කළ යුතුයි. පාසල් පොත් ලබා ගැනීම සඳහා ආධාර ලබාදීමේදී ඒ සඳහා සුදුසු පවුල් පිළිබඳ දත්ත සොයා ගැනීමේ අපහසුතාවයකට මුහුණ දීමට අපට සිදු වුණා. එම සියලු සහනාධාර මේ වන විට ලබාදෙනුයේ  පවතින අස්වැසුම දත්ත ගබඩාව අනුවයි. ආධාර අවශ්‍ය සියලු දෙනාගේම තොරතුරු රැස්කර ගැනීමේ  නව ව්‍යාපෘතියක් කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

ශක්තිමත් ආර්ථික පදනමක් සකස් කිරීමට වත්මන් රජය සහතික වී තිබෙනවා. 2022 -2023 වසරවලදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ අර්බුදයකට යළි කිසිදිනක මුහුණදීමට සිදු නොවන ශක්තිමත් ආර්ථිකයක්  ගොඩනැගන බවට ජාතික ජන බලවේගය ආණ්ඩුව ජනතාවට  සහතික වනවා.

අද විශාල ලෙස ආණ්ඩුවට චෝදනා කරන හිටපු පාලකයින් මේ රට බංකොලොත්භාවයට පත් කිරීමේ අහිතකර ප්‍රතිවිපාක පසුගිය කාලය තුළ ජනතාවට අත්විඳීමට සිදුවුණා. ගෑස්, ඉන්ධන හා ඖෂධ ගෙන්වා ගැනීමට නොහැකි තරම් රටේ ආර්ථිකය පහළට ඇද දැමීමට මේ රටේ හිටපු පාලකයන්ගේ ක්‍රියාකලාපය ඉවහල් වුණා. කෙසේ වෙතත් මේ වන විට  ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය ශක්තිමත් පදනමක් වත්මන් රජය විසින් සකස් කර තිබෙනවා.

විදුලි බල මණ්ඩලය තමන්ගේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් මහජන උපයෝගීතා කොමිසමට ලබාදිය යුතුයි. මහජන උපයෝගීතා කොමිසම මිල සංශෝධනය වන්නේ කෙසේදැයි ප්‍රකාශයක් නිකුත් කරනු ලබන්නේ එම වාර්තාව නිරීක්ෂණය කිරීමෙනුයි. පසුගිය මාසයේදී විදුලි බල මණ්ඩලය විදුලි හිඟයක් ඇතිවිය හැකි බවට වාර්තා කර තිබුණා. නමුත් සියලු දත්ත හා වාර්තා සැලකිල්ලට ගෙන මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල අඩු කළ හැකි බව දන්වා සිටියා. ඒ අනුව විදුලි බිල අඩු කිරීමට වත්මන් ආණ්ඩුවට හැකියාව ලැබුණා.

මෙවැනිම සිදුවීමක් මීට වසර කිහිපයකට පෙර සිදුවුණා. එහිදී විදුලි බල මණ්ඩලය මිල අඩු කළ නොහැකි බවට තමන්ගේ වාර්තා මඟින් පෙන්වා දී තිබුණා. නමුත් මහජන උපයෝගීතා කොමිසම ඊට එරෙහිව යමින් විදුලි මිල අඩු කළ හැකි බව පෙන්වා දුන්නා. එම අවස්ථාවේදී  මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පාර්ලිමේන්තු දෝෂාභියෝගයකින් ගෙදර යවනු ලැබුවා. මේ නිසාම ජනතාව විධිමත් ක්‍රමවේදයක් අපේක්ෂා කළා. එම ක්‍රමවේදයන්ට පණ දීමට වත්මන් ආණ්ඩුව මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

ආරම්භයේදී ශ්‍රී ලංකාව ගොඩනැගීමට නම් පුද්ගලයන් කෙරෙහි විශ්වාසය තැබිය යුතුව තිබෙනවා. දිගු කාලීනව ශ්‍රී ලංකාව ගොඩනැගීමට නම් ව්‍යුහයන් පිළිබඳ විශ්වාස තැබිය යුතුයි. එම නිසා කඩා වැටී තිබෙන සෑම තැනකම වෙනස ආරම්භ කිරීමට විශ්වාස කළ යුත්තේ පුද්ගලයායි. ආයතන පද්ධතිය කෙරෙහි ජනතාවට විශ්වාසය තැබිය හැක්කේ ආරම්භයේදීම පුද්ගලයා කෙරෙහි විශ්වාසය තැබීමෙන් පමණයි. විදුලිබිල ස්ථාවරව පවත්වාගෙන යාමට නම් බලශක්ති ක්ෂේත්‍රයට නව බලාගාර ඇතුළත් විය යුතුයි. මන්නාරම සුළං බලාගාරය නිවැරදි ටෙන්ඩර් පටිපාටියක් ඔස්සේ  ආයෝජකයෙක් වෙත ලබා දී තිබෙනවා. එමගින් විදුලි ඒකකයක් රුපියල් දාහතරකට මිලදී ගැනීමට ගිවිසුම් ගත වී තිබෙනවා. ඒ අනුව ඉදිරි වසර දෙක ඇතුළත ශ්‍රී ලංකාවේ විදුලි බිලෙහි ස්ථාවරභාවයක් ඇතිවිය හැකියි.

2030 වසර වන විට කන්ටේනර් ලක්ෂ130ක මෙහෙයුම් කටයුතු සඳහා කොළඹ වරාය සංවර්ධනය කිරීමටද සැලසුම් කර තිබෙනවා. වරාය තදබදය අවසන් කර රටේ ආර්ථිකයට වරාය දායක කර ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. කෙරවලපිටියේ නව බහාලුම් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති කිරීමටත්, වරායේ යටිතල පහසුකම් වර්ධනය කිරීමටත් අපේක්‍ෂා කරනවා.

උතුරු පළාතේ අක්කර හතළිස් දාහක පොල් වගා කිරීමට  සැලසුම් කර තිබෙනවා. වී මිල දී ගැනීම සඳහා රුපියල්  බිලියන 500ක් වෙන් කිරීමටත් වී ගබඩා ප්‍රතිසංස්කරණය කිරීමටත් වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.

ලෝකයේ අනෙකුත් රටවල් සංවර්ධනය වී තිබෙන්නේ අයාලේ යන ක්‍රමවේදයට නෙමෙයි. දත්ත සහ තොරතුරු පදනම්ව අනාගත පුරෝකතනය  සිදුකරමිනුයි. ඉදිරි සති දෙකෙන් පසු සහතික මිලට වඩා වැඩි මිලට සහල් වෙළඳපොළේ නොතැබීමට රජය කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා අවශ්‍ය දත්ත සහ තොරතුරු මේ වනවිටත් එක් රැස් කරමින් තිබෙනවා. අද දේශපාලන ක්‍රමවේදය රටට හිතකර ලෙස පරිවර්තනය වී තිබෙනවා. නමුත් ඒ අයුරින්ම ආර්ථික ක්‍රමවේදයන් තවමත් වෙනස් වී නැහැ. දේශපාලන නායකත්වයේ මැදිහත්වීම තුළින් ආර්ථික පරිවර්තනයක් ඇති කරන්න පුළුවන්. ඒ සඳහා වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා සැලසුමක් සහිත වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

පසුගිය වසර පහ තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 12,000ක් මියගියා. 33,000ක් සදාකාලික ආබාධිත වුණා. 43,000ක් කවර හෝ තුවාලයක් ලබා තිබෙනවා. මෙය ජාතික ඛේදවාචකයක්. මෙම අනතුරු වැළැක්වීම වත්මන් ආණ්ඩුව වගකීමක් ලෙස භාරගෙන තිබෙනවා. නොසැලකිල්ල, බීමත්බව, වාහන අබලන්වීම වැනි කරුණු මෙම අනතුරුවලට හේතු වී තිබෙනවා. මේ පිළිබඳ සොයා බලා දකුණු ආසියාවේ මාර්ග අනතුරු අඩුම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමට රජය සැලසුම් සකස් කරමින් තිබෙනවා.

පසුගිය දශක දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ වන ගහනය සීග්‍රයෙන් අඩුවී තිබෙනවා. එය අනාගත ශ්‍රී ලංකාවේ  දේශගුණික විපර්යාසවලට ඍජුව බලපාන සාධකයක් වනවා. රටේ වන ගහනය ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. වස විසෙන් තොර ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට පුරවැසියාට ඇති අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා. Clean Srilanka වැඩපිළිවෙළ යටතේ මෙම සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ අපේක්ෂාවන් ඉටුකිරීම අපගේ අපේක්ෂාවයි.

දූෂිතයන් පිළිබඳ ගන්නාවූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ජනතාව නිරන්තර අවධානයෙන් පසු වන බව අප දන්නවා. මා පරීක්ෂකයාවත් , නඩු ගොනුකරන්නා හෝ නඩු විභාග කරන්නාවත් නෙමෙයි. නමුත් එම පරීක්ෂණ සිදු කරන රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම ආණ්ඩුවේ වගකීමයි. ඒ වෙනුවෙන් ආණ්ඩුව කැපවී සිටිනවා.

පසුගියදා හිටපු අමාත්‍යවරයෙකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුටට ගත් බව මාධ්‍ය වාර්තා කර තිබුණා. නමුත් එය හිටපු ඇමතිවරයෙකු සහ ඇමතිවරයාගේ පුද්ගලික ලේකම්වරිය ලෙස නිවැරදි විය යුතුයි.  පසුගිය පාලන සමයේ ආණ්ඩු කර තිබෙනුයේ පවුල් විසින් බව ඉන් පැහැදිලි වනවා. අත්අඩංගුවට ගැනීමේදී  පමණක් ඇමති ස්වාමිපුරුෂයා සහ බිරිඳ අත්අඩංගුවට ගැනීමක් ලෙස හුවා දැක්වීම නිවැරදි වන්නේ නැහැ.

කෙසේ වුවද මෙම පැමිණිල්ලට අදාළ විමර්ශන ලිපි ගොණුව 2015 වසරේ  සිට ඉතා ප්‍රමාද වෙමින් අදාළ ආයතන මගින් මෙහෙයවා තිබුණා. මේ වන විට මෙම පරීක්ෂණ අවසන් කිරීම කඩිනම් කර තිබෙනවා.

ලසන්ත වික්‍රමතුංග මහතා මීට වසර 16කට කලින් ඝාතනයට ලක් වුණා. තාජුඩින්ගේ ඝාතනය සම්බන්ධයෙන් ක්‍රියාකළ අධිකරණ වෛද්‍යවරයා මෙන්ම ඒ පිළිබඳ විමර්ශනය කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් මේ වන විට මියගොස් තිබෙනවා. මේ පරීක්ෂණ යටපත් වී සාක්‍ෂි දිරා පත්වී තිබෙන අවස්ථාවක් වුවත් එම පරීක්ෂණ පවා කඩිනම් කිරීමට අදාළ අංශ අප විසින් ශක්තිමත් කර තිබෙනවා. ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අප විසින් පූර්ණ නිදහස ලබා දී තිබෙනවා.

අදාළ පරීක්ෂණ සඳහා ආණ්ඩුවක් ලෙස ස්ථාවරත්වයක් සකසා දිය හැකියි. නමුත් එම පරීක්ෂණයේදී දඬුවම් ලබාදිය හැක්කේ අධිකරණයෙන් පමණයි. අධිකරණයෙන් ඇප ලබාදීම සම්බන්ධයෙන් ජනතාව සැකයක් තබාගත යුතු නැහැ. දූෂිත පාලකයින්ට අධිකරණයේ නඩු පැවරීම වත්මන් රජයේ අරමුණයි. ඊට ශක්තිමත් සාක්ෂි එකතු කිරීම අදාළ ආයතන වලින් සිදු කළ යුතුයි. ඇතැම් නිලධාරීන් දූෂිතයන්ට අදාළ ලිපිගොනු සඟවාගෙන සිටිනවා. ඔවුන් එම ලිපිගොනු  කලින් පාලකයන්ට ලබා දුන්නේ නම් ඔවුන්ගේ රැකියාව අහිමි වේය යන බියෙන් පසු වුණා. එම නිලධාරින් මෙවැනි ආණ්ඩුවක් පැමිණෙන තෙක්  බලාපොරොත්තුවෙන් පසු වී තිබුණා.

පොලිස් දෙපාර්තමේන්තුව සතුව විමර්ශන ලිපිගොනු 29,000ක් පවතිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ කොටස් කිහිපයකට අදාළ විමර්ශන ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මූල්‍ය අපරාධ පිළිබඳ ඒකකයක්, මිනී මැරුම් විමර්ශනය සඳහා ඒකකයක්,  මත්ද්‍රව්‍ය පිළිබඳ ඒකකයක් ලෙස නව ඒකකයන් නිර්මාණය කර තිබෙනවා. දිනපතා වැටලීම් සිදුකරමින් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් අත්අඩංගුවට ගැනීම්, ආයුධ ළඟ තබා ගන්නන් අත්අඩංගුවට ගැනීම් කඩිනම් කර තිබෙනවා.

මීට පෙර දේශපාලන නායකයින් පරිවාර වාහන සහිතව ගමන් ගත් ආකාරය ඕනෑම පුද්ගලයකුට දැකිය හැකි සුලභ කරුණක් වුණා. නමුත් වත්මන් දේශපාලන සංස්කෘතිය වෙනස් වීමත් සමඟ මාර්ග වසා දමා ජන ජීවිතවලට පීඩා කරමින් වාහන පරිවාර සහිතව ගමන් ගන්නා දේශපාලන නායකයන්ගේ රථ මේ වනවිට දැක ගැනීමට නැහැ. කිසිදු ඇමතිවරයකු රජයෙන් නිල නිවසක් ලබා ගෙන නැහැ. කොළඹ ජනාධිපති මන්දිරය සහ මහනුවර ජනාධිපති මන්දිරය හැර සියලුම ජනාධිපති මන්දිර, ඇමති නිල නිවාස රජයට පවරාගෙන ආර්ථිකයට දායක කර ගත හැකි ආකාරයෙන් පරිහරණය කිරීම සඳහා සැලසුම් කර තිබෙනවා.

රටේ ජනාධිපතිවරයාට හෝ කිසිදු ඇමතිවරයෙකුට නිල නිවසක් නොමැති විට වර්ග අඩි 30,000කට වඩා විශාල නිවාස ඉල්ලා සිටීමට තරම් හිටපු පාලකයින් කටයුතු කරමින් සිටිනවා. පැල්පත් නිවාස ඉවත් කර එම නිවාසවල සිටි පවුල් ඒකකයට ලබා දුන් නිවසක වර්ග අඩි ප්‍රමාණය වර්ග අඩි 450ක්. කොළඹ නගරය මධ්‍යයේ අක්කරයයි පර්චස් තුනක් වන රුපියල් කෝටි 350ක වටිනාකමින් යුත් නිවසක හිටපු පාලකයෙක් සිටිය යුතුද? තනි කෙනෙකුට වර්ග අඩි පහළොස් දහසක නිවසක සිටිය හැකිද? රටම වෙනස් වීම සඳහා බලකර සිටියදී එසේ වෙනස් නොවන්නේ ඇයි? අගමැති ලෙස අරලියගහ මන්දිරයද,  හිටපු ජනාධිපති ලෙස විජයරාම නිවසද එකම අවස්ථාවක භාවිත කළ හිටපු පාලකයින්  අද එම නිවස භාරදීමට පසුගාමී වී සිටිනවා.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යහපත් සම්ප්‍රදායන් ඔස්සේ මේ රට මීට වඩා ඉහළට ඔසවා තැබීම සඳහා කැප වී සිටිනවා. මීට පෙර ජනාධිපතිවරයාට අමාත්‍යාංශ තිබුණේ නම් ඒ ඒ අමාත්‍යාංශ සඳහා අයවැය මගින් ඇමතිවරයාට අදාළ මුදල් වෙන් කිරීම සිදුකර තිබෙනවා. නමුත් මෙවර අයවැයේදී ඒ වෙනුවෙන් මුදල් වෙන් කිරීමක් සිදුවන්නේ නැහැ. වත්මන් ආණ්ඩුව ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරනවා. යම් අතපසුවීමක් වුවහොත් එය නිවැරදි කිරීමට තරම් නම්‍යශීලීව කටයුතු කිරීමට ආණ්ඩුව අපේක්ෂා කරනවා. රටක් ලෙස පිරිසුදු වීමට නම් මීට වඩා හොඳ අවස්ථාවක් ඉදිරියේදී ලැබෙනු ඇත්තේ නැහැ. මහජනතාවගේ දේපළට අත තැබීම සාංඝික දේපළට අත තැබීමක් යන හැඟීම සෑම පාලකයෙකුටම තිබිය යුතු යැයි අපි සිතනවා. එබැවින් අපි මෙම නව පරිවර්තනය අද සිට හෝ ආරම්භ කරමු.”

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *