ජනතාව වෙනුවෙන් වහාම සහන පැකේජයක් දෙන්න – විපක්ෂ නායකගෙන් රජයට යෝජනාවක්

වර්තමාන ලෝක දේශපාලනික හා ආර්ථික තත්ත්වයන් හමුවේ මෙරට වැසියන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බැවින්, ජන ජීවිතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වහාම සහන පැකේජයක් හඳුන්වා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි. ඉන්ධන මිල ඉහළ යාම සහ විදුලි උත්පාදනයේ පවතින අර්බුද හේතුවෙන් නිෂ්පාදන ක්ෂේත්‍රය මෙන්ම සාමාන්‍ය වැසියන්ගේ දෛනික ආදායම් මාර්ග ද බිඳ වැටී ඇති බව පෙන්වා දෙන ඒ මහතා, ජනතාව පත්ව ඇති පීඩනය සමනය කිරීමට රජය සතු මූල්‍ය සංචිත වහාම යොදාගත යුතු බව අවධාරණය කළේය.​රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් එකඟතා හුදෙක් කොන්දේසි ආරක්ෂා කිරීමට පමණක් සීමා නොවිය යුතු බවත්, එම ගිවිසුම් ජනතාවට හිතකර අයුරින් යාවත්කාලීන කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ජනතාව සමඟ ඇති කරගත් සමාජ සම්මුතියට ගරු කරමින්, ඉන්ධන සහ විදුලි ගාස්තු වහාම පහත දැමීමට කටයුතු කළ යුතු බවත්, මානුෂීය පදනමක් මත පිහිටා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කර සහන ලබාදීම රජයේ වගකීමක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.​ඖෂධ, පොහොර සහ අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍රයන් දරුණු කඩා වැටීමකට ලක්ව ඇති බව පවසන සජිත් ප්‍රේමදාස මහතා, මෙම තත්ත්වය සමස්ත ආර්ථිකයටම මරු පහරක් වී ඇති බව සඳහන් කළේය. රජය පවතින උදාසීන පිළිවෙතින් මිදී කඩිනම් සහන ලබා දීමට ඉදිරිපත් වන්නේ නම්, ඒ සඳහා විපක්ෂය ලෙස අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට සූදානම් බව ද ඔහු මෙහිදී සහතික විය.

What's your reaction?

Related Posts

1 of 1,075

Leave A Reply

Your email address will not be published. Required fields are marked *