වත්මන් ගෝලීය දේශපාලන අර්බුද හමුවේ මෙරට රාජ්‍ය නායකයා වඩාත් ශක්තිමත්ව සහ තීරණාත්මකව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික නීතිඥ සුමුදු කැකුලන්දල මහතා ප්‍රකාශ කළේ, රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට නම් ජනාධිපතිවරයා තමන් සතු ව්‍යවස්ථාපිත බලතල නිසි ලෙස ක්‍රියාවට නැංවිය යුතු බවයි.විශේෂයෙන්ම ඉරානය කේන්ද්‍ර කරගනිමින් මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය වැනි ජාත්‍යන්තර ගැටලුවලදී ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම් අවම කර ගැනීමට සෘජු නායකත්වයක් අවශ්‍ය බව ඒ මහතා පෙන්වා දුන්නේය. මෙවැනි තීරණාත්මක අවස්ථාවක රාජ්‍ය නායකයෙකු සතු වගකීම හුදෙක් නාමිකව පෙනී සිටීම නොව, පවතින තත්ත්වයන් නිසි ලෙස කළමනාකරණය කරමින් ස්ථාවර තීරණ ගැනීම බව ඔහු සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපතිවරයා වෙත පුළුල් බලතල පවරා ඇති බව සිහිපත් කළ නීතිඥ කැකුලන්දල මහතා, එම බලතල ජනතා සුභසිද්ධිය සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් භාවිතා කිරීමට ජනාධිපතිවරයා පසුබට නොවිය යුතු බව ප්‍රකාශ කළේය. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සිටිමින් වුවද, රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය තීන්දු ගැනීමේදී ජනාධිපතිවරයා සෘජු චරිතයක් ලෙස පෙනී සිටිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයයි.රටේ පවතින සංකීර්ණ ගැටලුවලට විසඳුම් සෙවීමේදී රාජ්‍ය නායකයා සතු සියලුම විධායක මෙවලම් උපයෝගී කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. ජනාධිපති ධුරය සතු ගෞරවය සහ වගකීම ආරක්ෂා කරමින්, රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීම සඳහා ජනාධිපතිවරයා සිය පූර්ණ බලතල ක්‍රියාත්මක කරමින් කටයුතු කරනු ඇතැයි තම පක්ෂය බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

























