මෙරට පරිසර තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීමේ විශිෂ්ට ප්‍රයත්නයන් ඇගයීම සඳහා වන කීර්තිමත් “ජනාධිපති පරිසර සම්මාන 2025” උළෙල අද (23) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ. මෙම උත්සවය මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සංවිධානය කරනු ලබයි.පරිසර අමාත්‍ය ආචාර්ය දම්මික පටබැඳි, කර්මාන්ත හා ව්‍යවසාය අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පරිසර අමාත්‍යාංශ ලේකම් කේ.ආර්. උඩුවාවල, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් සහ අධ්‍යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සම්මානලාභීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උළෙලට සහභාගී වීමට නියමිතය.මෙවර රන් 17 ක්, රිදී 29 ක්, ලෝකඩ 38 ක්, ප්‍රශංසා 47 ක්, සහ විශේෂ ජූරි සම්මානයක් 1 ක් ඇතුළුව සම්මාන 132 ක් පිරිනැමීමට නියමිතය. මෙම සම්මාන ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඇලුමිනියම් ටින් භාවිතයෙන් නිර්මාණය කර තිබීම මෙම උත්සවයේ පරිසර හිතකාමී කැපවීම තහවුරු කරයි.අයදුම්පත් ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් ඔස්සේ කැඳවා ඇත.
- කර්මාන්ත අංශය: රසායනික හා ආහාර කර්මාන්තවල සිට හෝටල්, රෝහල් සහ ලෝහ හා යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය දක්වා කාණ්ඩ 16 ක මහා පරිමාණ සහ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් (SMEs) මෙයට ඇතුළත් වේ
- ව්‍යාපෘති අංශය: කුඩා පරිමාණ ජල විදුලිය, සූර්ය සහ සුළං ව්‍යාපෘති ඇතුළු පුනර්ජනනීය බලශක්ති මුලපිරීම් මෙහිදී ඇගයීමට ලක් කෙරේ.
- ආයතන, ජන මාධ්‍ය හා සමාජ අංශය: පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන (NGOs), පාරිසරික නවෝත්පාදන, සම්ප්‍රදායික මාධ්‍ය සහ පළමු වරට Facebook සහ YouTube වැනි සමාජ මාධ්‍ය වේදිකා මෙයට ඇතුළත් වේ.
”පිරිසිදු ශ්‍රී ලංකා වැඩසටහන” සමඟ සහයෝගයෙන් “ලස්සන දිවයින, සිනාසෙන මිනිසුන්” යන දැක්ම පෙරදැරිව 2025 සම්මාන ක්‍රියාත්මක වන අතර, එය පිරිසිදු, හරිත සහ වඩා තිරසාර ශ්‍රී ලංකාවකට දායක වන මුලපිරීම් සැමරීමකි.
























