”දිට්වා සුළි කුණාටුව” හේතුවෙන් සිදු වූ විනාශයට ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ප්‍රතිචාරය ශක්තිමත් කිරීම සඳහා ජපාන රජය විසින් පරිත්‍යාග කරන ලද සැලකිය යුතු හදිසි ආධාර තොගයක් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) හරහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වෙත නිල වශයෙන් භාර දී ඇත. ඊයේ (03) ශ්‍රී ලංකාවට පැමිණි මෙම ආධාර තොගය, අද (04) දින ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා මහතා සහ JICA ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරුනුමා මහතා විසින් විධිමත්ව භාර දෙන ලදී. ඔවුන් මෙම සැපයුම් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ (විශ්‍රාමික) යන මහත්වරුන් වෙත පිරිනැමීය. මෙම ආධාර තොගයට විතැන් වූ පවුල් සඳහා සහාය වීමට සහ දැඩි ලෙස හානියට පත් ප්‍රදේශවල මූලික ජීවන තත්ත්වයන් යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කරගත් අත්‍යවශ්‍ය මානුෂීය ද්‍රව්‍ය රැසක් ඇතුළත් වේ. ඒ අතර කූඩාරම් 200ක්, බ්ලැන්කට් 1,200ක්, නිදන පැදුරු 1,200ක්, ප්ලාස්ටික් තහඩු (ටාපෝලින්) 20ක්, රැගෙන යා හැකි වතුර කෑන් 200ක් සහ ජල පිරිපහදු යන්ත්‍ර 10ක් ද වේ. මෙම සැපයුම් ප්‍රධාන වශයෙන් “දිට්වා සුළි කුණාටුවෙන්” දරුණු ලෙස බලපෑමට ලක් වූ බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක හරහා බෙදා හැරීමට නියමිත අතර, එමගින් විශාල විතැන්වීම්, හානියට පත් නිවාස සහ කඩාකප්පල් වූ ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වේ. මෙම ආධාරය, ආපදා කළමනාකරණය සහ මානුෂීය සහයෝගීතාව පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් මත පදනම්ව, ශ්‍රී ලංකා රජය විසින් මෙහෙයවනු ලබන මානුෂීය ආධාර ප්‍රයත්නයන් ශක්තිමත් කරමින්, අර්බුදකාරී අවස්ථාවන්හිදී ශ්‍රී ලංකාව සමඟ ජපානයේ අඛණ්ඩ සහයෝගීතාව පිළිබිඹු කරයි.


























