දිවයිනේ පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජල මූලාශ්‍ර සිදී යාම නිසා මතුව ඇති පානීය ජල ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විශේෂ මැදිහත්වීමක් ආරම්භ කර ඇත. ඒ අනුව, ජල නිෂ්පාදන ක්‍රියාවලිය සහ බෙදාහැරීමේ කටයුතු සමීපව නිරීක්ෂණය කිරීම සඳහා සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරීවරයාගේ උපදෙස් මත විෂයභාර නිලධාරීන්ගෙන් සැදි විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කර තිබේ. මෙම කමිටුව මඟින් දෛනිකව සහ සතිපතා ජල මූලාශ්රවල මට්ටම් හා සැපයුම් රටාවන් සමාලෝචනය කරමින්, පවතින සීමිත ජල ධාරිතාවය වඩාත් ඵලදායී ලෙස පාරිභෝගිකයන් අතර බෙදාහැරීමට අවශ්‍ය පියවර ගනු ඇත.මෙම නව වැඩපිළිවෙළේ මූලික අරමුණ වන්නේ ඉදිරියේදී ඇති විය හැකි දීර්ඝකාලීන ජල කප්පාදු වළක්වා ගනිමින්, සියලුම පාරිභෝගිකයන්ට තමන්ගේ දෛනික අවශ්‍යතා සඳහා සාධාරණ ලෙස ජලය ලබා ගැනීමට අවස්ථාව සලසා දීමයි. ජල මූලාශ්රවල තත්ත්වය යථා තත්ත්වයට පත් වන තෙක් මෙම කමිටුව අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ජලය අපතේ යාම පාලනය කිරීමටත්, පවත්නා අභියෝගාත්මක තත්ත්වය හමුවේ ජල සැපයුම විධිමත්ව පවත්වා ගැනීමටත් මෙහිදී උපරිම ප්‍රමුඛතාවක් හිමිවේ. මෙමගින් වියළි කාලගුණය නිසා ඇතිවන පීඩාව අවම කරමින් විද්‍යාත්මක පාලන ක්‍රමවේදයක් හරහා ජල කළමනාකරණය සිදු කිරීමට බලධාරීන් අපේක්ෂා කරයි.





















