කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික ඵලදායිතා සම්මාන තරගය පිළිබඳව පෞද්ගලික අංශය දැනුවත් කිරීමේ වැඩසටහනක් නොවැම්බර් 18 වන දින කොළඹදී පැවැත්විණි. අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය (NPS) මගින් ද්වි-වාර්ෂිකව සංවිධානය කරන මෙම තරගය පිළිබඳ වැඩසටහනට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සභාපතිත්වය දැරීය. වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ සමස්ත ශ්‍රී ලංකාව තුළ ආයතනික විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජය හා පෞද්ගලික අංශය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමයි. ඵලදායිතාව සාර්ථකව වැඩිදියුණු කරන ව්‍යාපාර සඳහා විවිධ දිරිගැන්වීම් සහ සහන ලබා දීමට රජය අපේක්ෂා කරයි. අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ රටේ කාර්මික පුනරුදයක් ඇති කිරීමට නම් දේශීය ව්‍යාපාර අවම වශයෙන් 30% කින් ඵලදායිතාව වැඩි කිරීමට සැලසුම් සකස් කළ යුතු බවයි. රජය, ජාත්‍යන්තර වෙළඳපොල දැක්මක් ඇති ඉහළ ඵලදායී ව්‍යවසායකයින් සඳහා අඩු පොලී ණය සහ ඉඩම් ලබා දීම වැනි සේවාවන්හිදී ප්‍රමුඛතාවය ලබා දීමට සූදානම් බවද ඔහු තහවුරු කළේය. දැනට, කර්මාන්ත අමාත්‍යාංශය NPS හරහා දේශීය ආයතන සඳහා ඵලදායිතා සංකල්ප පිළිබඳ නොමිලේ දැනුම සපයනු ලබයි. විදේශයන්ගෙන් මෙවැනි සේවාවක් ලබා ගැනීම සඳහා දිනකට ඩොලර් 2,000 ක් පමණ වැය වන අතර, දේශීය සේවා සඳහා අවම වශයෙන් රුපියල් 100,000 ක් වැය වන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙමඟින් සැලකිය යුතු මුදලක් ඉතිරි කර ගත හැකි බවද පෙන්වා දුන්නේය. මෙම දැනුම බෙදාගැනීම ජාතික යුතුකමක් ලෙස සලකන ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අංශයේ වෘත්තිකයන්ගේ ස්වේච්ඡා දායකත්වය මත සිදු කෙරේ. ඉදිරියේදී, සමස්ත වැඩසටහනම සම්පූර්ණයෙන්ම ඩිජිටල් වේදිකාවක් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, NPS හි ඉලක්කය වන්නේ ඉදිරි ජාතික ඵලදායිතා සම්මාන තරගය සඳහා ආයතන 2,000 ක් ලියාපදිංචි කර ගැනීමයි. මෙම අධ්‍යාපනික වැඩසටහනේ අරමුණු වූයේ:
- 2025/26 ජාතික ඵලදායිතා සම්මාන පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම
- නිෂ්පාදන හා සේවා අංශවල සහභාගීත්වය ඉහළ නැංවීම
- ආයතනවලට ජාතික මට්ටමේදී ඵලදායී ලෙස තරඟ කිරීමට අවශ්‍ය ආයතනික ධාරිතාව ගොඩනැගීම.
ජාතික ඵලදායිතා වැඩසටහන සමඟ නිෂ්පාදන හා සේවා අංශවල ව්‍යාපාර පරිවර්තනය වේගවත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රායෝගික දැනුමද අමාත්‍යාංශය විසින් මෙහිදී ලබා දෙන ලදි. මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන්නේ කෙසේද සහ ආයතනික නායකයින්ට ඔවුන්ගේ ආයතන ව්‍යාපාර විශිෂ්ටත්වය සහ ගෝලීය තරඟකාරිත්වය සඳහා ස්ථානගත කළ හැකි ආකාරය පිළිබඳවද මෙම සැසියෙන් ආවරණය විය. කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිරාන් එස්. ජයකොඩි මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම දේශීය ව්‍යවසායන් රැසක ව්‍යවසායකයින්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
























