ශ්‍රී ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කෘතිම බුද්ධිය (AI) සහිත අතිනවීන MRI යන්ත්‍රයක් කොළඹ ජාතික රෝහල වෙත ඊයේ (09) දින නිල වශයෙන් පිරිනැමිණි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් වූ මෙම යන්ත්‍රය, රජයේ රෝහල් පද්ධතියට එක්වූ මෙවැනි ඉහළම තාක්ෂණික පහසුකම් සහිත පළමු උපකරණය ලෙස සැලකේ.රුපියල් මිලියන 450කට අධික පිරිවැයක් දරා ස්ථාපිත කරන ලද මෙම නවීන පරීක්ෂණ පද්ධතිය, විශේෂයෙන්ම ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය සහ ස්නායු ශල්‍ය ඒකකය වෙත පැමිණෙන රෝගීන්ගේ සේවාවන් කඩිනම් කිරීම සඳහා යොදා ගැනේ. AI තාක්ෂණය භාවිතා කිරීම හරහා වඩාත් නිවැරදි සහ පැහැදිලි රෝග විනිශ්චයන් ලබා ගැනීමට වෛද්‍යවරුන්ට මින් අවස්ථාව සැලසේ.පසුගිය කාලසීමාවේ කොළඹ ජාතික රෝහලේ පැවති MRI යන්ත්‍ර තුනම වරින් වර අක්‍රීය වීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටියහ. මෙම ගැටලුව හඳුනාගත් නව රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ සෘජු මැදිහත්වීම මත, අක්‍රීයව තිබූ අනෙක් යන්ත්‍ර සියල්ල ද මේ වන විට අලුත්වැඩියා කර යළි ක්‍රියාත්මක තත්ත්වයට පත් කර තිබීම විශේෂත්වයකි.ඒ අනුව, ජාතික රෝහලේ දැනට පවතින යන්ත්‍ර තුනට අමතරව මෙම සිව්වන සහ නවීනතම MRI යන්ත්‍රය ද එක්වීමත් සමඟ, රෝගීන්ට පරීක්ෂණ සඳහා දීර්ඝ කාලයක් පෝලිම්වල රැඳී සිටීමට සිදු නොවන බව බලධාරීන් පෙන්වා දෙයි. මෙමගින් ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක මට්ටමකට ඉහළ නැංවීමට මග පෑදේ.මෙම සමාරම්භක අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ජාතික රෝහලේ අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය විශාල පිරිසක් සහභාගී වූහ. තාක්ෂණික දියුණුව සමඟ රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රය නව මාවතකට යොමු කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.නව රජයේ සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, මෙරට සාමාන්‍ය ජනතාවට ඉහළම තාක්ෂණික වෛද්‍ය පරීක්ෂණ නොමිලේ ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කරන්නකි. ඉදිරි කාලයේදී දිවයිනේ සෙසු ප්‍රධාන රෝහල් වෙත ද මෙවැනි පහසුකම් ව්‍යාප්ත කිරීමට රජය අපේක්ෂා කරයි.

























