අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව පුරා රටවලින් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා 15%ක ගෝලීය බද්දක් පැනවීමට තීරණය කර ඇත. මීට පෙර ඔහු පනවා තිබූ ආනයන බදු නීතිවිරෝධී බවට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව දැඩි ලෙස විවේචනය කරමින් ට්‍රම්ප් මෙම පියවර ගෙන තිබේ. සිකුරාදා දිනයේදී සියයට 10ක බද්දක් පනවන බව පැවසූ ට්‍රම්ප්, සෙනසුරාදා වන විට සිය ‘Truth Social’ ගිණුම හරහා නිවේදනය කළේ පෙර නොවූ විරූ වෙළඳ නීතියක් යටතේ එය උපරිම මට්ටම වන 15% දක්වා වැඩි කරන බවයි.මෙම නව බදු සංශෝධනය 1974 වෙළඳ පනතේ 122 වන වගන්තිය යටතේ තාවකාලික විසඳුමක් ලෙස ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වීමට පෙර මාස පහක පමණ කාලයක් බදු අය කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව හිමිවේ. මීට පෙර අමෙරිකාව සමඟ 10%ක බදු ගිවිසුම්වලට එළඹ සිටි බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලට මෙම නව 15%ක බදු අනුපාතය ගැටලුකාරී තත්ත්වයක් මතු කරනු ඇත. මෙම බදු ලබන අඟහරුවාදා (පෙබරවාරි 24) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණද, වැඩි කළ 15%ක බද්ද එදින සිටම අය කරන්නේද යන්න පිළිබඳව මෙතෙක් නිල තහවුරු කිරීමක් ලැබී නොමැත.ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 6-3ක් ලෙස ලබාදුන් තීන්දුව මගින් ප්‍රකාශ වූයේ පසුගිය වසරේ ජනාධිපතිවරයා හදිසි ආර්ථික බලතල පනත (IEEPA) භාවිත කරමින් බදු පැනවීමේදී තම බලතල ඉක්මවා කටයුතු කර ඇති බවයි. මෙම තීන්දුව “ලැජ්ජා සහගත සහ අමෙරිකානු විරෝධී” එකක් ලෙස හඳුන්වමින් ට්‍රම්ප් විනිසුරුවරුන් දැඩි දෝෂදර්ශනයට ලක් කළේය. රජයේ දත්තවලට අනුව, අහෝසි කරන ලද එම බදු ක්‍රමය යටතේ අමෙරිකාව මේ වන විටත් ඩොලර් බිලියන 130කට අධික ආදායමක් උපයා තිබීම විශේෂත්වයකි.


























