ගෝලීය වශයෙන් පනවා තිබූ දැවැන්ත ආනයනික බදු ඉවත් කිරීමට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව “අතිශය කලකිරීමට කරුණක්” බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා ප්‍රකාශ කළ අතර, ඒ වෙනුවට සියයට 10 ක නව ආනයනික බද්දක් හඳුන්වා දීමට සැලසුම් කරන බවද නිවේදනය කළේය. ජාතික හදිසි අවස්ථාවන් සඳහා වෙන් කර ඇති නීතියක් යටතේ මෙලෙස පුළුල් බදු පැනවීම මගින් ජනාධිපතිවරයා සිය බලතල ඉක්මවා කටයුතු කර ඇති බව විනිසුරුවරුන් 6-3 ක බහුතර තීරණයකින් ප්‍රකාශ කර සිටියේය. ආනයනික භාණ්ඩ මත මෙවැනි බදු පැනවීම සඳහා කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය බව අධිකරණයේ මතය විය.මෙම තීන්දුව විශේෂයෙන් බලපානුයේ ට්‍රම්ප් විසින් හඳුන්වා දුන් “නිදහස් දින” (Liberation Day) බදු පද්ධතියට වුවද, ඇතැම් රටවල් සහ නිශ්චිත නිෂ්පාදන ඉලක්ක කරගනිමින් පනවා ඇති සෙසු බදු සඳහා මෙයින් බලපෑමක් සිදු නොවේ. අගවිනිසුරු ජෝන් රොබට්ස් ඇතුළු පිරිස පෙන්වා දුන්නේ පාලනාධිකාරිය විධායක බලයේ නීතිමය සීමාවන් උල්ලංඝනය කර ඇති බවයි. මෙම තීන්දුව ට්‍රම්ප්ගේ ආක්‍රමණශීලී වෙළඳ ප්‍රතිපත්තියට එල්ල වූ දැඩි පසුබෑමක් ලෙස සැලකෙන අතර, නව 10% ක ගෝලීය බද්ද ක්‍රියාත්මක කරන නීතිමය ක්‍රියා පටිපාටිය පිළිබඳව ධවල මන්දිරය මෙතෙක් නිශ්චිත සැලසුමක් ඉදිරිපත් කර නොමැත.


























