ටැන්සානියාවේ ජනාධිපතිවරණය සාමියා සුලූහු හසන් 98% කින් ජය ගනී

ටැන්සානියාවේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ බවට වත්මන් ජනාධිපති සාමියා සුලූහු හසන් (Samia Suluhu Hassan) ප්‍රකාශයට පත් කර ඇති අතර, රට පුරා දින ගණනාවක් පැවති නොසන්සුන්තා මධ්‍යයේ ඇය තවත් ධූර කාලයක් තහවුරු කර ගත්තාය. ​මැතිවරණ කොමිසම පවසන පරිදි, බදාදා (පෙරේදා) පැවති මැතිවරණයේදී හිමි වූ ඡන්ද මිලියන 32න් 98%ක් පමණ දිනා ගනිමින් සාමියා ජයග්‍රහණය කළාය.​​ජාත්‍යන්තර නිරීක්ෂකයින් විනිවිදභාවය නොමැතිකම සහ පුළුල් නොසන්සුන්තා සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇති අතර, වාර්තා වන පරිදි එම සිදුවීම්වලින් සිය ගණනක් මිය ගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇත.​රට පුරා අන්තර්ජාලය අත්හිටුවීම මරණ සංඛ්‍යාව තහවුරු කිරීම අපහසු කර ඇත. රජය විසින් ප්‍රචණ්ඩත්වයේ පරිමාණය අවතක්සේරු කිරීමට උත්සාහ කර ඇති අතර, නොසන්සුන්තා මැඩපැවැත්වීම සඳහා බලධාරීන් ඇඳිරි නීතිය දීර්ඝ කර තිබේ.​මැතිවරණ ප්‍රධානී ජේකබ්ස් ම්වාම්බෙගෙලේ (Jacobs Mwambegele) සෙනසුරාදා උදෑසන ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින්, “චාමා චා මැපින්ඩූසි (CCM) පක්ෂය යටතේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස සාමියා සුලූහු හසන් ප්‍රකාශයට පත් කරමි” යනුවෙන් පැවසීය.​​ටැන්සානියාවේ අර්ධ ස්වයං පාලන දූපත් සමූහයක් වන සැන්සිබාර් හි, (එහිම ආණ්ඩුවක් සහ නායකයෙක් තෝරා ගන්නා) වත්මන් ජනාධිපති වන CCM පක්ෂයේ හුසේන් ම්විනි (Hussein Mwinyi) 80% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජය ගත්තේය.​සැන්සිබාර් හි විපක්ෂය “විශාල වංචාවක්” සිදුවී ඇති බව පවසන බව AP පුවත් සේවය වාර්තා කළේය. ​​අගනුවර වන දාර් එස් සලාම් (Dar es Salaam) සහ අනෙකුත් නගරවල විරෝධතාකරුවන් සාමියාගේ පෝස්ටර් ඉරා දමමින්, පොලිසියට සහ ඡන්ද මධ්‍යස්ථානවලට පහර දෙමින් වීදි බැසීම නිසා සිකුරාදා (ඊයේ) දින ද විරෝධතා අඛණ්ඩව පැවතිණි. නොසන්සුන්තා අවසන් කරන ලෙසට හමුදා ප්‍රධානියාගේ අනතුරු ඇඟවීම්ද ඔවුහු නොසලකා හැරියහ.​විරෝධතා ප්‍රධාන වශයෙන් මෙහෙයවනු ලබන්නේ, මැතිවරණය අසාධාරණ බවට හෙළා දකින තරුණ විරෝධතාකරුවන් විසිනි.​ප්‍රධාන විපක්ෂ නායකයින් මර්දනය කිරීමෙන් රජය ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන බවට ඔවුන් චෝදනා කරයි – එක් අයෙක් සිරගත කර ඇති අතර තවත් අයෙක් තාක්ෂණික හේතු මත ඉවත් කර ඇත.​සිකුරාදා දින විපක්ෂයේ චඩේමා (Chadema) පක්ෂයේ ප්‍රකාශකයෙකු AFP පුවත් සේවයට පැවසුවේ, ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුම්වලින් “700ක් පමණ” මිය ගොස් ඇති බවයි. ටැන්සානියාවේ සිටින රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගයක් බීබීසීයට පැවසුවේ අවම වශයෙන් 500ක්වත් මිය ගිය බවට විශ්වාසදායක සාක්ෂි ඇති බවයි.​විදේශ අමාත්‍ය මහමුද් කොම්බෝ තාබිට් (Mahmoud Kombo Thabit) ප්‍රචණ්ඩත්වය “තැනින් තැන ඇති වූ සුළු සිද්ධීන් කිහිපයක්” ලෙස විස්තර කර ඇති අතර, “ආරක්ෂක අංශ තත්ත්වය සමථයකට පත් කිරීමට ඉතා කඩිනමින් හා තීරණාත්මකව කටයුතු කළ” බව ප්‍රකාශ කළේය.​​සාමියාගේ පාලක පක්ෂය වන CCM, රටේ දේශපාලනය ආධිපත්‍යය දරන අතර, නිදහසෙන් පසු කිසිදු මැතිවරණයකින් පරාජය වී නොමැත.​සාමියා 2021 දී ජනාධිපති ජෝන් මගුෆුලිගේ (John Magufuli) මරණයෙන් පසු ටැන්සානියාවේ ප්‍රථම කාන්තා ජනාධිපතිවරිය ලෙස බලයට පත් විය.

What's your reaction?

Related Posts

1 of 516

Leave A Reply

Your email address will not be published. Required fields are marked *