2024 වසරේදී ෆ්ලොරිඩා ගොල්ෆ් ක්‍රීඩාංගණයකදී එවකට ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළ රයන් රවුත් නමැත්තාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට ඇමරිකානු අධිකරණය බදාදා පියවර ගත්තේය. ෆෝට් පියර්ස් ෆෙඩරල් අධිකරණයේ විනිසුරු අයිලීන් කැනන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අතර, මීට පෙර ඔහු වැරදිකරු වූ අවස්ථාවේදී අධිකරණය තුළදීම තමාටම පිහියෙන් ඇන ගැනීමට උත්සාහ කරමින් කලහකාරී ලෙස හැසිරීම ද මෙහිදී අවධානයට ලක් විය. පුද්ගලයින් ස්වකීය අභිමතය පරිදි අපේක්ෂකයින් ඉවත් කිරීමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍රවාදය හමුවේ කිසිසේත් පිළිගත නොහැකි බවත්, රවුත්ගේ ක්‍රියාව අතිශය දුෂ්ට හා සැලසුම් සහගත ප්‍රහාරයක් බවත් විනිසුරුවරිය මෙහිදී අවධාරණය කළාය.විත්ති පාර්ශවයේ නීතිඥයින් රවුත් යනු “හොඳ හදවතක් ඇති සංකීර්ණ පුද්ගලයෙකු” බව පවසමින් කරුණු ඉදිරිපත් කිරීමට උත්සාහ කළ ද, විනිසුරුවරිය එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඔහු සාමකාමී හෝ යහපත් පුද්ගලයෙකු නොවන බවයි. රවුත් අධිකරණය හමුවේ දීර්ඝ ප්‍රකාශයක් කිරීමට උත්සාහ කළ ද එය අදාළ නොවන බව පවසමින් විනිසුරුවරිය ඔහුට ලබා දුන් කාලය සීමා කළාය. අවසානයේ ඔහුට සමාව දිය නොහැකි ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් සහ ගිනිඅවි චෝදනාවකට තවත් වසර හතක අමතර සිරදඬුවමක් නියම විය. මෙම තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජනපද නීතිපති පාම් බොන්ඩි ප්‍රකාශ කළේ, මෙම ම්ලේච්ඡ ඝාතන තැත සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියටම එල්ල වූ ප්‍රහාරයක් බවත් රවුත්ට නැවත කිසිදා නිදහස නොලැබෙන බවත්ය.


























