තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60- 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

තද වැසි තද සුළං පිළිබඳව රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කල්පිටියේ සිට කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකි බවයි.

එසේම නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩි වීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර, උතුර මැද, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල සුළගේ වේගය පැයට කිලෝමිටර 50 – 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පවතින තත්ත්වය සලකා ඉදිරි පැය 48 තුළ මන්නාරම, පුත්තලම, මීගමුව, කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක ආසන්න මුහුදු ප්‍රදේශවල කුඩා ධීවර යාත්‍රාවලට ඉතා අවධානම් බවයි ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එමෙන්ම දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවලද යාත්‍රා කිරීම අවධානම් බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත කියා සිටියා.

මේ අතර ගංගා හා ජලාශවල ජල මට්ටම පසුගිය පැය 24 තුළ අඩු වීමක් වාර්තා වුවද වැසි තත්ත්වය වැඩි වීමත් සමග යළි අවාධනමක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කලමණකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීශ්වර කියා සිටියා.

අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 155.2 රත්නපුර – කෑරගල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *